හිරේ ඉන්නා විදේශිකයන් රට යවා කාන්තාවන් පවා එල්ලා මැරීමට ජනපති තීන්දු කරයි |VIDEO

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට පෝරකයට නියමවී සිටින විදේශිකයන් ඔවුන්ගේ මව් රටට යවා කාන්තාවන් ද ඇතුළු ලාංකිකයන් සියලු දෙනා ම එල්ලුම් ගස් යැවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

මරණීය දණ්ඩනය නියම වුවන් ලෙසින් තමන් වෙත ලැබී ඇති නාම ලේඛනයේ ඉහලින්ම සිටින පකිස්තාන් ජාතිකයන් පස් දෙනකු ආපසු එරටට භාරදී අනිකුත් සැමදෙනා එල්ලා මරා දැමීමට පියවර ගැනීමේ තිර අදිටන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ සර්වාගමික වතාවත් මැද පංච ශීලයද සමාදන් වීමෙන් අනතුරුවය.

මරණයට නියමවු ලාංකිකයන්ගේ ලේඛනයේ ඉහලින්ම සිටින්නේ කාන්තාවන් පිරිසක් බවද ජනාධිපතිවරයා හෙළි කළේ යාපනයේ මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක උත්සවය අමතමිනි.

“කාගේ හෝ අතේ මත්ද්‍රව්‍ය තිබිලා අහුවුණොත් මත්ද්‍රව්‍යවල අයිතිකාරයෙක් කියලා දැන ගත්තොත් අපි ඒ පිළිබඳව නීතියෙන් සහනයක් දෙන්නේ නැහැ,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය.

හතලිස් අවුරුද්දකට වැඩි කාලයක් අත්හිටුවා තිබූ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තම අත්සන යොදන බව ජනාධිපතිවරයා මාසයකට ඉහතදී කළ ප්‍රකාශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු දේශීය හා විදේශීය සංවිධාන වල මෙන්ම යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර බලවතුන්ගේද විරෝධයට හේතුවිය.

මල්වතු, අස්ගිරි බෞද්ධ නායකත්වය සහ කොළඹ කතෝලික අගරදගුරුවරයා ජනාධිපතිගේ මරණීය තීන්දුව අනුමත කළත් කතෝලික රදගුරු මණ්ඩලය සහ ලංකා ක්‍රිස්තියානි සභාවද පුද්ගලයන් එල්ලුම් ගස් යැවීම හෙලා දැක තිබේ.

Related posts

Comments are closed.

Top