දරුවා මල සොවින් විරෝධය දැක්වූ ගම්වාසීන්ට කඳුළු ගෑස් | VIDEO

රෝහල් ගතකළ කළ බිලිඳකු මරණයට පත්වීමෙන් කෝපවී රෝහල් බලධාරීන්ට විරෝධය දැක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්වැසියන් පිරිසකට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර ගසා පලවා හැර තිබේ.

අසනීපවී 28 අඟහරුවාදා උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට දෙමව්පියන් විසින් ඇතුලත් කර තිබෙන අවුරුදු එකහමාරක් වයසැති ගලහ දෙල්තොටවත්තේ ශංකර් සජීවරන් නමැති පිරිමි දරුවා පේරාදෙණිය රෝහලට රැගෙන යාමට ගිලන් රථයක් ලැබී නැත.

දෙපැයකට වැඩි කාලයක් යනතුරුත් දරුවා සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ  වෛද්‍යවරුන් පේරාදෙණිය රෝහලට රැගෙන යාමට ගිලන් රථය ලබා දීම පවා ප්‍රතික්ෂේප කළ බව ප්‍රදේශවාසීහු පවසති.

ඔවුන් කියා සිටින්නේ ත්‍රීරෝද රථයකින් රැගෙන යාමට සිදුවූ දරුවා මරණයට පත්ව සිටි බවයි.

වෛද්‍යවරුන් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ එම අවස්ථාවේදී රෝහල තුළ ගිලන් රථයක්  නොතිබූ බවයි.

ගිලන් රථය රෝහලේ තිබුනු බව ප්‍රකාශ කරන ප්‍රදේශවාසීන් රෝහලේ ගොඩනැගිල්වලට සහ වෛද්‍යවරු දෙදෙනකුගේ මෝටර් රථවලට පහරදී තිබෙන බව ගගන වාර්තාකරු පවසයි.

අනතුරුව පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද ගලහ රෝහල් භුමියට පැමිණ තිබේ.

පොලිස් නිලධාරියකු විරෝධතාකරුන්ට ලිපියක් උපුටා දක්වමින් කියා සිටියේ චෝදනා ලබන ජේ එම් ඒ එම් ජයසේකර හා  ශිරෝමි ද සිල්වා යන  වෛද්‍යවරුන් මහනුවර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට මාරුකර ඇති බවයි.

ලිපියේ නිල තත්වය ගැන සැක කරන ප්‍රදේශවාසීන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ වගකිවයුතු වෛද්‍යවරුන්ගේ සේවය අත් හිටුවා තමන්ට යුක්තිය ඉටු කර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා ලබන වෛද්‍ය කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා සමන්ති දිසානායක මාධ්‍යවේදීන්ට සහතික වුවාය.

Related posts

Comments are closed.

Top