මහවැලිය ජනතා විරෝධී ව්‍යාපෘතියක්: මුලතිව්හි දැවැන්ත විරෝධතාවක් | VIDEO

දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභූමි සිංහල ජනාවාස බවට පත් කිරීමේ සැලසුම් සහගත උපක්‍රමයක් ලෙසින් හෙලා දකිමින් එය හකුලා ගැනීමට බල කෙරෙන විරෝධතාවක් දහස් ගණනක සහභාගිත්වයෙන් මුලතිව් හි පවත්වා තිබේ.

මහවැලි විරෝධී දෙමළ උරුමය සංසදය විසින් සංවිධානය කළ මෙම විරෝධතාවට  දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ ඊපීආර්එල්එෆ් සමග උතුරේත් දකුණේත් ආගමික හා බහුජන සංවිධාන මෙන්ම උතුරු පළාත් සභාවත් එක්ව සිටිනු දක්නට ලැබිනි.

ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා ලැබී ඇති කෝටි ගණනක විදේශීය ආධාර යොදවා දෙමල වාසභූමිය දෙකඩ වන සේ යුද්ධයෙන් පසු සීග්‍රයෙන් සිංහල ජනාවාස කාරණයක් සිදු කරගෙන යන බවට විරෝධතා කරුවෝ රජයට චෝදනා කළහ.

එම ජනාවාස කරණය ආරම්භ කරන ලද්දේ මනලාරු නමින් සම්ප්‍රදායිකව හැඳින්වුනු ප්‍රදේශය වැලිඔය ලෙසින් 1984 දී නම්කොට සිංහල පවුල් හයදහසක් පදිංචි කිරීමත් සමගින් බව සංවිධායකයෝ පෙන්වා දෙති.

“එහි භයානක කම තමයි මිලියන 3000ක පමණ මහජන මුදල් යොදවා ඇත්තේ සිංහල ජනපදකරණය සඳහා පමණයි,” යනුවෙන් සිංහලෙන් සභාව ඇමතූ අමිල ජීවන්ත පියතුමෝ පැවසූහ.

එමනිසා වැලිඔය සිංහල පවුල් පදිංචි කරවීම සඳහා පවරාගෙන ඇති අක්කර දෙදහසක භූමිය ඒවායේ පාරම්පරික උරුමක්කාරයන්ට පවරා දෙන ලෙස මහවැලි විරෝධී දෙමළ උරුමය සංසදය ඉල්ලා සිටී.

මුලතිව් දිස්ත්‍රික්කයේ කර්නාටකේනි, කොක්කුතුඩුවායි සහ කෝකිලායි යන පාරම්පරික දෙමළ ධීවර ගම්මාන වල හමුදා සහයෙන් සිදුකෙරෙන සිංහල ජනාවාසකරණය  වහාම අත්හිටුවන ලෙස බලකරමින් ජනාධිපතිවරයාට යොමු කරන ලද සන්දේශයක් විරෝධතා කරුවන් විසින් මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන්ට භාර දෙන ලදී.

දෙමළ ජනතාවට කිසිදු අභිවෘද්ධියක් අත් නොවන ජනාවාසකරනයේම ඉදිරි පියවරක් වන යෝජිත මහවැලි K සහ J ව්‍යාපෘති වහාම අත් හිටුවන ලෙසද සංදේශයෙන් ඉල්ලා තිබේ.

මුලතිව් පොදු ක්‍රීඩා භුමියේ පවත්වන ලද මහජන රැලියට සහභාගී වීම සඳහා නගර මධ්‍යයේ සිට පෙළපාලියෙන් ගිය විරෝධතා කරුවන් අත දෙමළ, සිංහල හා ඉංග්‍රීසි තෙබසින්ම ලියන ලද මහවැලි ව්‍යාපෘති විරෝධී සටන් පාඨ පුවරු දැක ගන්නට ලැබුනි.

Related posts

Comments are closed.

Top