හිදැස: මුලතිව් ධීවර වාඩි ගිනි තැබීම, මුස්ලිම්වරුන් හා රාජපක්ෂ පිල

මෙම සතියේ දමිළ සහ සිංහල පුවත්පත් වල වූ ප්‍රධාන පුවත් අතර අතිපිහිත වීමක් දක්නට නොලැබුනි. පසුගිය සතියේ දී දුම්රිය සේවකයන්ගේ වර්ජනය දමිළ පුවත්පත් තුළ විස්තරාත්මකව ආවරණය වී තිබුණත්, මෙම සතියේ මාර්ග නීති උල්ලංඝනයන් සඳහා ඉහළ දඩ මුදල් හඳුන්වාදීමට විරුද්ධව පුද්ගලික බස් සේවකයන් විසින් දියත් කළ වර්ජනය දමිළ පුවත්පත් තුළ ආවරණය වූ නොවූ තරමි. මීට සමාන ලෙසින්ම වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ‍රැඳවියන් විසින් දියත් කළ විරෝධතාවයද දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ ලබාගෙන තිබුණේ අතිශයින්ම අවම අවධානයකි.

මුලතිවු හි ජීවත් වන දෙමළ ධීවරයන් සහ පිටින් පැමිණි සිංහල ධීවරයන් අතර ගැ‍ටුමක්

කාලයක් පුරා මුලතිවු හි නයාරු හි  පදිංචි දෙමළ ධීවරයන් සහ පිටින් පැමිණි සිංහල ධීවරයන් අතර ඇතිවෙමින් තිබූ ආතතිජනක තත්වය මෙම සතියේදී තීරණාත්මක අවස්ථාවක පැමිණ තිබිණි. අගෝස්තු 15 වැනි දින දමිළ පුවත්පත් සිරස්තල ඔස්සේ වාර්තා වූ පරිදි ධීවර වාඩි, දැල් සහ බෝට්‍ටු ඇතුළු රුපියල් මිලියන දහයක් පමණ වටිනා දෙමළ ධීවර සම්පත් ගිනිතබා ප්‍රහාරයක් එල්ල කොට ඇත. මෙය දමිළ පුවත්පත් තුළ සැලකිය යුතු ආවරණයක් ලබාගෙන තිබුණද, සිංහල පුවත්පත් තුළ මේ සම්බන්ධයෙන් වාර්තා වූයේ ඉතාමත් සීමිත ලෙසිනි.

දමිළ පුවත්පත් මගින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වගකීම සංක්‍රමණය වූ සිංහල ධීවරයන් වෙත පවරා තිබිණි. පුවත් වාර්තා මගින් සඳහන් වූයේ මෙම අපරාධයට සම්බන්ධකම් ඇති පිටින් පැමිණි සිංහල ධීවරයන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. මෙම පුවත් වාර්තාවන්හි නයාරු වාසී ධීවරයන්ගේ ප්‍රකාශයන් උපුටා දක්වා තිබූ අතර, එයින් කියැවුණු ආකාරයට මෙම ප්‍රහාරය එල්ල වන්නේ දකුණේ ධීවරයන් නීතිවිරෝධීව උතුරේ ධීවර කටයුතු සිදුකිරීමට එරෙහිව මෑතකදී පැවැත්වුණු විරෝධතාවට එකට එක කිරීමක් වශයෙනි. වාර්තා වන ආකාරයට මෙම ප්‍රහාරය එල්ල වන්නේ, ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් සිංහල ධීවරයන් මුහුදු ගොස් තහනම් ක්‍රම භාවිතා කරමින් මසුන් මැරීම වැළැක්වූ විට ප්‍රහාරයට පැය ගණනාවකට පෙර පාර්ශව දෙක අතර සිදුවූ ගැ‍ටුමකට පසුය. කෙසේ වුවත් අද දෙරණ මගින් සිදුවීම වාර්තා කොට තිබුණේ වින්දිතයන්ගේ හෝ සැකකරුවන්ගේ වාර්ගිකත්වයන් සඳහන් නොකරමිනි.

දමිළ පුවත්පත් මගින් මෙම ගිනි තැබීම් හඳුනාගැනුනේ දෙමළ ධීවර සම්පත් ඉලක්ක කොට ගනිමින් සිදුවූ ප්‍රහාර ‍රැල්ලක කොටසක් ලෙසිනි. සිංහල ධීවරයන් විසින් සිදුකර සිදුකරනා නීතිවිරෝධී මුහුදු කැකිරි එකතු කිරීමට එරෙහිව නැගෙනහිර වඩමාරච්චි ධීවරයින් විසින් පැවැත්වූ විරෝධතාවයට නායකත්වය දුන් දමිළ ධීවරයන්ට අයත් ධීවර බෝට්‍ටු දෙකක්ද පසුගිය මාසයේදී ගිනි තබා තිබිණි. එනිසා නයාරු හි මෑතකාලීනව සිදුවූ ප්‍රහාර දමිළ පුවත්පත් මගින් දැක තිබුණේ නයාරු වැසි ධීවරයන් බියවද්දා ඔවුන්ගේ විරුද්ධත්වය බිඳ දැමීමට සිදු කළ ඒවා ලෙසයි.

තවදුරටත් දක්වන්නේ නම් මෙම පදිංචිකාර ධීවරයන් සහ පිටින් පැමිණි ධීවරයින් අතර ගැ‍ටුම සම්බන්ධයෙන් වූ දමිළ පුවත්පත් විශ්ලේෂණය, ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පැමිණ නීතිවිරෝධීව මසුන් මැරීම පිළිබඳ වූ වාර්තාකරණයෙන් සැලකිය යුතු ලෙසින් වෙනස් වී තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, බොහෝ විට තමිල්නාඩුවෙන් පැමිණෙන ඉන්දීය ධීවරයන් දමිළ පුවත්පත් මගින් නිරන්තරයෙන්ම විජාතික බලාත්කාරයෙන් ඇතුළුවන්නන් ලෙසින් හැඳින්වී තිබුණත්, දකුණේ ධීවරයන් සම්බන්ධයෙන් වූ සඳහන් කිරීම් සියුම් ලෙස වෙනස් වී තිබිණි. එයට උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භ වීමට පෙර සිංහල ධීවරයන් උතුරු මුහුදු කලාපයන්හි ඇතැම් කාලවල මසුන් මැරීම සිදුකළ බව උදයන් කතුවැකිය මගින් පිළිගෙන තිබුණි.

අද දින උතුරුකරයේ විසිරී සිටිනා සිංහල ධීවරයන් හට ඔවුන්ගේ ධීවර බිම් වෙත කිසියම් ඓතිහාසික බැඳීම් තිබෙන්නේද යන්න දමිළ පුවත්පත් තුළ වූ ඇතැම් කොටස් මගින් ප්‍රශ්න කරන්නට යෙදුණද, මෙම ඝට්ටනයේ මූලික කරුණ වූයේ සිංහල ධීවරයන්ට දමිළ ධීවර කලාපයන්හි මසුන් මැරීමට අයිතියක් තිබේද යන කරුණ නොවුණි. ඊට වඩා දමිළ පුවත්පත් මගින් තර්ක කරන්නට යෙදුණේ, සිංහල ධීවරයන් විසින් ඔවුන්ගේ මසුන් ඇල්ලීමේ ක්‍රම තුළින් උතුරු පළාතේ ධීවර සම්පත් විනාශ කොට ඇති බවයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ටැමිල් මිරර් ලිපියක් මගින් නිරීක්ෂණය කොට තිබුණු ආකාරයට සිංහල ධීවරයින් විසින් තහනම් කොට ඇති හැඹිලි දැල්, සුරුක්කු දැල් සහ කෘත්‍රිම ආලෝක ප්‍රභවයන් මසුන් මැරීම සඳහා යොදාගනී.

දෙවෙනුව මේ හා සම්බන්ධ වන වෙනත් රෙගුලාසීන්ද සිංහල ධීවරයන් විසින් සිතාමතාම උල්ලංඝනය කොට ඇත. තිනකුරල් ලිපියක් මගින් චෝදනා කළ ආකාරයට දකුණේ ධීවර පවුල් 500 ක් පමණ නයාරු හි තාවකාලික ධීවර වාඩි තනා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවශ්‍ය කරනා අනුමැතීන් ලබා නොගනිමිනි. තුන්වනුව දමිළ පුවත්පත් තුළ වූ ඇතැම් කොටස් මගින් දකුණේ සිංහල ධීවරයන්ගේ පැමිණීමට විරුද්ධතාවය දක්වා තිබුණේ ආර්ථික සාධාරණත්වය පදනම් කොට ගනිමිනි. වීරකේසරී කතුවැකිය මගින් නිරීක්ෂණය කළ ආකාරයට, දකුණෙන් සංක්‍රමණය වූ දේශපාලන අනුග්‍රහය සහ සැළකිය යුතු තරමේ වඩාත් හොඳ තත්වයේ ආම්පන්න සහිත ධීවරයන් අභිමුව යුද්ධයෙන් බැටකෑ පදිංචිකාර ධීවරයින්ට සිදුවන්නේ අවාසියකි. එම කතුවැකියෙන් තර්ක කෙරුණේ සංක්‍රමණය වූ ධීවරයන් මේ ආකාරයෙන් ඉහළ ධනයක් උපයා ගන්නා අතරතුරදී, පදිංචිකාර ධීවරයන්ට තමන්ගේ මූලික ජීවනෝපාය මාර්ගය ලෙසින් ධීවර ‍රැකියාව අත් හැර දැමීමට සිදුවන බවටයි. අවසාන වශයෙන් දමිළ දේශපාලන මත දක්වන්නන් විසින් නාවික හමුදාවට, පොලිසියට සහ ධීවර අමාත්‍යාංශයට චෝදනා එල්ල කොට සිටියේ, ඔවුන් විසින් ප්‍රදේශයේ වසන දමිළ ධීවර ජනතාවට දැඩි සම්මතයන් පිළිපැදීමට බලකරන අතරතුරදී සංක්‍රමණික ධීවරයන් විසින් සිදුකරනා උල්ලංඝනය කිරීම් නොදු‍ටුවා සේ සිටින්නේයැයි කියමිනි.

මට මතක් වුණහම මම කථා කරන්නම්…| තිනක්කුරල්

මුස්ලිම්වරු රාජපක්ෂවරුන් වැළඳ ගනීවිද?

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් ඇතුළු සුළුතර පක්ෂ නායකයන් මුණගැසුනි. තිනකුරල් පුවතක් මගින් මෙම හමුව පිළිබඳව වාර්තා කරමින් සඳහන් කරන්නට යෙදුනේ, මහින්ද රාජපක්ෂ විසින් ඉදිරියේ එන අය වැය පරාජය කිරීම උදෙසා ඔවුන්ගේ සහාය ඉල්ලා සිටි බවයි. මීට දින කිහිපයකට පෙරාතුව ගෝඨාභය රාජපක්ෂ නැගෙනහිර පළාතට ගොස් තිබුණේ, මුස්ලිම් වෘත්තිකයන්, උගතුන් සහ ප්‍රදේශයේ තරුණ දායකත්වයෙන් සැදි ජාතික මුස්ලිම් එකමුතුව විසින් සංවිධානය කළ හමුවක් සඳහායි. සති කිහිපයකට පෙරාතුව බැසිල් රාජපක්ෂ විසින් ප්‍රකාශ කොට සිටියේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (SLPP) මුස්ලිම් කොටස් වෙනුවෙන්ම වෙන් වූ මුස්ලිම් පෙරමුණක් ඉක්මනින්ම නිර්මාණය කරන බවටයි.

මෙසේ රාජපක්ෂවරුන් විසින් මුස්ලිම් ප්‍රජාව කෙරෙහි පිරිනමන බවට කියැවෙන මුල් පිරීම් අතර, වීරකේසරී ලිපියක් මගින් සඳහන් කරන්නට යෙදුණු ලෙසට රාජපක්ෂවරුන් කෙරෙහි මුස්ලිම් ප්‍රජාව තුළ ඇති සමස්ත සෘණාත්මක මානසිකත්වය මෙම වසර තුළ සැලකිය යුතු ලෙසින් වෙනස් වී ඇත. මෙම වෙනස් වීමට බලපෑ මූලික කරුණු දෙකක් එම ලිපියේ කතුවරයා විසින් හඳුනා ගෙන තිබිණි.

පළමුව, එම කතුවරයා තර්ක කළ ආකාරයට මහින්ද රාජපක්ෂගේ දෙවෙනි ධූර කාලය තුළ සිදුවූ මුස්ලිම්-විරෝධී ප්‍රහාරයන් සැබවින්ම එම රජයෙන් මුස්ලිම්වරුන් ඈත් කිරීමේ වෑයමින් සිදුවූ සැලසුමක කොටසක් බව බොහෝ මුස්ලිම්වරුන් දැන් විශ්වාස කර සිටී. 2018 පළාත් පාලන මැතිවරණය අවසන් වූ වහාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් සිදුකරනු ලැබ, ඉන් පසුව අනෙකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකයන් විසින් පුනරුච්ඡාරණය කරන්නට යෙදුණු ප්‍රකාශයක් හා උක්ත තර්කය ගැලපේ. දෙවෙනුව, මෙම ලිපියේ සඳහන් වන ආකාරයට විශේෂයෙන්ම මෙම වසර මුලදී අම්පාර සහ නුවර සිදුවූ මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගැනීමට වත්මන් රජය අසමර්ථ වීම නිසා, මුස්ලිම් වරුන් විශාල ප්‍රමාණයකට මෙම රජය සම්බන්ධයෙන් ඇස් ඇරී ඇත.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

 

Related posts

Comments are closed.

Top