අතුරුදහන් වීම් ගැන ජනාධිපතිට තවත් වාර්තා මොකටද?| VIDEO

 

අතුරුදහන් තම සමීපතමයන්ගේ ඉරණම හෙළි කර දීම සඳහා පලවත් පියවර නොගන්නා බවට ආණ්ඩුවටත්, දෙමළ දේශපාලකයන්ටත්, ජාත්‍යන්තර බලවේග වලටත් උතුරු නැගෙනහිර පීඩාවට පත් වූවන්ගේ බලවත් විරෝධය පලවෙමින් පවතී.

පිළිතුරු ලබා දෙන බවට පොරොන්දුවී බලයට පත් වර්තමාන රජය යටතේද තමන් පීඩාවට පත්වීම ගැන ඥාතීන් සිය බලවත් අප්‍රසාදය පල කර සිටියේ අතුරුදහන් වුවන් පිළිබඳ තවත් ජාත්‍යන්තර දිනයක් සමරමිනි.

අතුරුදහන් වුවන්ගේ ඥාතීන් පෙළපාලි යමින් පලකළ විරෝධයට සහයෝගය දක්වමින් ප්‍රාදේශීය බහුජන සංවිධාන හා ආගමික නායකයන්ද එක්ව සිටිනු දක්නා ලදී.

“ජාත්‍යන්තරය පිළිතුරු දෙන් – යහපාලනේ පිළිතුරු දෙන්” යනුවෙන් ඔවුහු උතුරේ මන්නාරමේ දීත්, නැගෙනහිර අම්පාරේ තිරුක්කෝවිල් හිත් සටන් පාඨ හඬ නැගූහ.

අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය (OMP) සිය නිර්දේශ සහිතව සැප්තැම්බර් 5 දා ජනාධිපතිවරයාට දීමට නියමිත අතුරු වාර්තාව සම්බන්ධයෙන් අම්පාරේදී පළවූයේ දැඩි කෝපයකි.

මෙතෙක් කල් ලබා දුන් තොරතුරු පිළිබඳව ජනාධිපතිවරයා කිසිත් නොදන්නේදැයි විමසූ මඩකලපුවේ මාතාවක් එවන් ආණ්ඩුවකින් පලක් නැතැයි කියා සිටියාය.

“බලහත්කාරයෙන් අතුරුදහන් කරපු අය ගැන අපි ජනාධිපති කෙලින්ම හමු වූ වෙලාවේ කියපුවම අපෙන් ඇහුව ඉන්න තැනක් කියන්න ගෙනත් දෙන්නම් කියලා. වාහනයක් දෙන්නම් ඔයාලා ගිහිල්ල හොයාගන්න කියනවා. මෙහෙම ජනාධිපති කෙනෙක් අපිට මොකටද?”

“අපේ කඳුළු  ගංගා කීයක් ගැලුවත් කවුරුත් අපි ගැන බලන්නේ නෑ,” යි අම්පාර අතුරුදහන්වුවන්ගේ සංගමයේ නායිකා තම්බිරාසා සෙල්වරානි පැවසුවාය.

මන්නාරම නගරයේ පාගමනින් ගිය ඥාතීන්ට නායකත්වය සැපයු අතුරුදහන් දෙමළ මව්වරුන්ගේ සංගමයේ සභාපතිනි කනගරංජනී යෝගරාජා,  ලේකම් ලීලාදේවී ආනන්දරාජා සහ මුලතිව් නායිකා මරියසුරේෂ් ඊශ්වරී විසින් තම ඉල්ලීම් රැගත් සංදේශ මන්නාරම දිසාපති සී ඒ මෝහනරාජා වෙත භාර දෙන ලදී.

Related posts

Comments are closed.

Top