වංචා චෝදනාවට රිමාන්ඩ් කළ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු යන්න පුළුවන් | VIDEO

රාජපක්ෂ පාලන සමයේ රුපියල් පනස් ලක්ෂයකට අධික මහජන මුදල් වංචා කළ බවට නගා ඇති චෝදනා සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පවරා ඇති නඩුවක් විභාග වනතුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද හිටපු සමුපකාර හා වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට පාර්ලිමේන්තු යාමට උසාවි අවසරය ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස කුරණෑගල මහාධිකරණය බන්ධනාගාර බලධාරීන්ට නිර්දේශ කරන ලදී.

පස් අවුරුද්දකට ඉහතදී ලක් සතොස ආයතනයට අයත් කුරුණෑගල වල්ලවපිටිය, වැහැර සහ යන්තම්පලාව යන ශාඛාවලින් ලබාගත් රුපියල් පනස්දෙලක්ෂයකට අධික භාණ්ඩ වයඹ මැතිවරණය සඳහා යොදාගනිමින් අවභාවිතා කළ බවට චෝදනා ලබන හිටපු අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම්වරයකු වූ මොහොමඩ් ෂකීර් හා සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු ද  රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස විනිසුරු මේනකා විජේසුන්දර නියෝග කළාය.

චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අමාත්‍යවරයා පවසන්නේ ගංවතුර ආධාර වශයෙන් බෙදාදෙන ලද සතොස භාණ්ඩ සඳහා “යම් කාලසීමාවකට පසු” මුදල් ගෙවන ලද බවයි.

නඩු විභාගය අවසන් වනතුරු විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් කිරීම “දඩයමක්” ලෙසින් හැඳින්වූ මාධ්‍යවේදියකු ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර විමසු අවස්ථාවේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කලකිරුනු ස්වභාවයෙන් පිළිතුරු දුන්නේ තමන් එය බලාපොරොත්තුවෙන් සිටි බවයි.

විත්තියේ නීතිඥ නිතීඥ ප්‍රේමනාත් දොලවත්ත මාධ්‍යවේදීන් හා කියා සිටියේ අධිකරණය විසින් අනුගමනය කර ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදය බවයි.

බන්ධනාගාර බස්රියේ විත්තිකාර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට ගෙනයන අවස්ථාවේ රැස්ව සිටි ඔහුගේ ආධාරකරුවෝ ආණ්ඩු විරෝධී ප්‍රකාශ හඬ නැගූහ.

සැප්තැම්බර් 11 දා සිට නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

Related posts

Comments are closed.

Top