“වධබන්ධන ගැන උත්තර කෝ?” එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් අසයි

අත්අඩංගුවේ දී සිදුකරනු ලබනු බවට වාර්තා වී ඇති වධහිංසා පිළිබඳව දෑවුරුද්දකට ඉහතදී පටන් කරන ලද විමසීම් වලට තවමත් පිළිතුරු නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවේ රජයෙන් ප්‍රශ්න කර ඇත.

ඒ පිළිබඳව සිහිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලිඛිත දැනුම් දීමක් කර සතියක් ගතවීමටත් මත්තෙන් රජය එක්සත් ජාතීන් හමුවේ කරුණු දැක්වීම සඳහා මහජන අදහස් විමසා තිබේ.

වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් 2016 නොවැම්බරයේදී ජිනීවාහිදී කරන ලද විමසීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට 2017 නොවැම්බර් 7 දක්වා කල් දී තිබුනත් පසුගිය මාසය වන විටත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් උත්තර දී නැත.

“කමිටුවේ හමාර නිරීක්ෂණ දැනුම් දී අවුරුද්දකට වැඩි කාලයක් ගතවී ඇතත්, කමිටුව විසින් ඉල්ලා තිබෙන තොරතුරු තවමත් ලබා දී නැතැ,” යි UNCAT කමිටුවේ පසු විපරම් නියෝජිත අබ්දෙල්වහාබ් හනි 2018 අගෝස්තු 20 දාතමින් යුතුව ශ්‍රී ලංකාවේ රජයට එවා ඇති ලිපියක දැක්වේ.

වධහිංසා කිරීමට සම්බන්ධ බවට වාර්තා වී ඇති බලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන්ද, වධයට ගොදුරු වුවන්ට යුක්තිය ඉටු කිරීම පිළිබඳවද ලිපියේ විශේෂ අවධානයක් යොමු කර ඇත.
ඔත්තු සේවා ලොක්කා

අත් අඩංගුවේ දී රැඳවියන්ට වධහිංසා පැමිණවූ බවට චෝදනා ලබන පොලිස් ඒකක දෙකකට යුද සමයේත්, ඉන් පසුවත් නායකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ ඔත්තු සේවා ප්‍රධානියා ගේ කාර්ය භාරය UNCAT විසින් 2016 දී බරපතල ලෙස ප්‍රශ්න කර තිබුනි.

එම ප්‍රශ්න වල ප්‍රධාන අරමුණක් වූයේ ජාතික බුද්ධි සේවා ප්‍රධානී සිසිර මෙන්ඩිස්‌ 2008 මාර්තු මාසයේ සිට 2009 ජුනි දක්වා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හා ත්‍ර‍ස්ත විමර්ශන ඒකකය (TID) භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරි කරද්දී පුද්ගලයන් රඳවාගෙන වධබන්ධන පැමිණවීම පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමයි.

එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසේ සාමාජිකයකු ලෙස ජිනීවා ගොස් සිටි බුද්ධි අංශ ප්‍රධානියා කිසිදු පිළිතුරක් නොදී කරබාගෙන සිටියේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ගේ පාලනය යටතේ රැඳවියන්ට වධහිංසා කිරීමේ සවිස්තර චෝදනා නගා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විසින් එක්සත් ජාතීන්ට සපයා තිබූ තොරතුරු UNCAT ප්‍රශ්න කිරීමට පාදක වී තිබුනි.

ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කළේද නැත.

ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධබන්ධන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ වෙනත් බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද UNCAT විශේෂයෙන් විමසා තිබුනි.


සාක්ෂිකාර අධිකාරියේ නිලධාරීන්

වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙන් ස්වාධීන වූ ආයතනයක් පිහිටුවා ලීමට ද නිර්දේශිතය.

ඒ සඳහා පත්කරන නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝන වලට සම්බන්ධ නැති බවට සහතික කරගැනීම සඳහා පූර්ව පරීක්ෂාවකට ලක් කළ යුතු බව UNCAT ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබුනි.

රජය විසින් 2016 දී පිහිටුවන ලද සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරිය ට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පස් දෙනකුට අමතරව පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයකුද නිල බලයෙන් පත් වේ.

අධිකාරියේ සභාපති වරයා ඇතුළු තිදෙනකු වහාම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) 2017 දී ආණ්ඩුවෙන් ඉල්ලා තිබුනි.

සභාපති සුහද ගම්ලත් හිටපු පුනරුත්ථාපන කොමසාරිස් ලෙසින්ද, හිටපු නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයකු ලෙසින්ද වධහිංසා පැමිණවීම සම්බන්ධ වගකීමෙන් බැඳෙන අතර අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ආරක්ෂක අංශ වලට එරෙහිව සාක්ෂි දීමට බාධා පමුණුවා ඇති බවට ITJP විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තාවක දැක්වේ.
රජය මහජන මතය විමසයි

දෙවසරකට ඉහතදී අසන ලද එකී ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නේ කවදාදැයි විමසන UNCAT ලිපිය යැවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය එක්සත් ජාතීන් මානව හිමිකම් කමිටුව හමුවේ ඉදිරිපත් කිරීමට යන කරුනු සම්බන්ධයෙන් මහජන අදහස් විමසා තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනය (UPR) සඳහා සකස් කර ඇති හයවැනි කාලාන්තර වාර්තාවේ කෙටුම්පත අධ්‍යයනය කර, අදහස් හා නිරීක්ෂණ දක්වන ලෙස එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් අගෝස්තු 26 දා නිකුත් කර ඇති නිවේදනයකින් මහජනතාවගෙන් සහ සිවිල් සංවිධාන වලින් ඉල්ලා සිටී.

විදේශ අමාත්‍යංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය ඔස්සේ තෙබසින්ම ලබා ගත හැකි එම කෙටුම්පතේ UNCAT විසින් මතු කොට ඇති නිශ්චිත ප්‍රශ්න වලට පිළිතුරු ඇතුලත් නොවේ.

මහජන අදහස් දැක්වීම සඳහා;

අධ්‍යක්ෂ ජනරාල්, එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනරජ ගොඩනැගිල්ල, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01.

ෆැක්ස්: 0112323228

ඊ මේල්: dgun@mfa.gov.lk

කෙටුම්පත වැඩිදුරටත් සාකච්ඡා කිරීමේත්, ජනතාවගේ අදහස් හා නිරීක්ෂණ ලබා ගැනීමේත් අරමුණින් සංවිධානය කරන ලද සැසියක් සැප්තැම්බර් 13 දා උදේ 9.30 සිට සවස 3.30 දක්වා කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ, අංක 24 දරන තැන පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැත්වෙන බව පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය, 01122423208 හෝ 07119329619 දුරකතන අංක අමතා පැමිණීම තහවුරු කරන මෙන් ඊට සහභාගි වීමට උනන්දුවක් දක්වන්නන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

Comments are closed.

Top