උතුරේ බුදු පිළිම තියන්න ගිය හාමුදුරුවරුන් ආපසු හරවා එවයි | VIDEO

මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා රක්ෂිතයකට බුදු පිළිමයක් රැගෙන යාමට වීරිය කළ බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට ආපසු හැරී යාමට සිදුවී තිබේ.

දකුණින් ආ පිරිසට නායකත්වය දුන් ගල්ගමුවේ සංඝබෝධි හිමියන් පොලිසියට පවසා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතිව තමන් එහි පැමිණි බවයි.

වාහන කීපයක නැගී දකුණින් ආ පිරිස කුමුලමුනෙයිහි තන්නිමුරිප්පු වැව අසල කුරුන්දුර් කන්ද හෙවත් කුරුඳුමලේ මතට පිළිමය ගෙනයාමට තැත් දැරූ අවස්ථාවේ ගම්වාසීන් මැදිහත්වී එය වලකා ඇත.

එතනින් පිටවී ගිය වාහන පෙළ තන්නිමුරිප්පු වෑකන්ඩිය පාරේ නවත්වන ලද අවස්ථාවේ ගම්මුන් එතැනට රොක් වූ පසු උණුසුම් තත්වයක් ඇතිවූ බව ගගන මුලතිව් වාර්තාකරු පවසයි.

තත්වය සන්සුන් වී ඇත්තේ උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සිවනේසන්, පළාත්සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් සහ තන්නිමුරිප්පු ප්‍රාදේශීය සභාවේ සභාපති ශන්මුගනාදන් තවරාසා ඇතුළු මහජන නියෝජිතයන් මැදිහත් වීමෙන් අනතුරුවයි.

බෞද්ධයන් නැති පලාතක බුදු පිළිම පිහිටුවීම “නැති ප්‍රශ්න ඇති කරන්නක්” බව ඔවුන් දකුණින් ආ භික්ෂුන් වහන්සේට කරුණු දක්වා තිබේ.

ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පරීක්ෂක ආර් එම් ජී බී රත්නායක ගගන කළ විමසීමකදී කියා සිටියේ පුරා විද්‍යා රක්ෂිතයේ වැඩ ඇරඹීම පිණිස සංඝයා වහන්සේ පිරිවරා දකුණින් පැමිණි පිරිස සම්බන්ධයෙන් ගම්වාසීන් වැරදි අවබෝධයක් ඇතිකරගෙන තිබෙන බවයි.

වවුනියාව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය විසින් මුලතිව් පොලිසියට එවා ඇති ලිපියක දැක්වෙන පරිදි ආගන්තුක පිරිස තන්නිමුරිප්පු බලා ගොස් ඇත්තේ කුරුඳුමලේ පුරාවිද්‍යා ස්ථානයේ නඩත්තු හා සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහාය.

“මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් සහ ශ්‍රම දායකත්වය ලබාදීමේ කටයුතු සපුමල්තැන්න අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ගල්ගමුවේ සංඝබෝධි හිමියන් විසින් සපයනු ලැබේ,” යි වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික් භාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩී එම් ජයතිලක බණ්ඩා විසින් සැප්තැම්බර් 3 දා ලිපියෙහි සඳහන් වෙයි.

කිසිදු ගැටුමකින් තොරව බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස ආපසු යැවීමට හැකිවූ බව ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපති වරයා වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top