අතුරුදහන් කාර්යාල නිර්දේශ ජනාධිපති අතින් තවත් කමිටුවකට

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට සම්බන්ධ රජයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව  පියවර ගැනීම සහ වින්දිතයන්ට සහන සැලසීම ඇතුළු කඩිනම් නිර්දේශ මාලාවක් සමගින් රජයේ ස්ථාවර ආයතනයක් විසින් ලබාදුන් වාර්තාව තවත් කමිටුවකට බාර දීමට ජනාධිපතිවරයා වහාම තීරණය කර ඇත.

ජනාධිපතිවරයා වෙත අගෝස්තු 5 දා භාර දෙන ලද අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට ස්ථාපිත කළ කාර්යාලයේ (OMP) අතුරු වාර්තාව කැබිනට් අනුකමිටුවකට භාර දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එදිනම සවස පවසා ඇත්තේ ජාත්‍යන්තර ආධාර ආයතනවල ඉහල පෙළේ නියෝජිත මණ්ඩලයක් හමුවේය.

“අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට ස්ථාපිත කළ කාර්යාලයේ අතුරු වාර්තාව ඊයේ තමා වෙත ලැබුණු බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා එහි නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් ඉදිරියේ දී කැබිනට් අනුකමිටුවක් ද පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව,’  කරුණු දැක්වූ බව ජනාධිපති කාර්යාංශය පවසයි.

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JAICA), ලෝක බැංකුව (IMF), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (KOICA) ඇතුළු ප‍්‍රධාන ජාත්‍යන්තර ආයතන රැසක නියෝජිතයන් ජනාධිපතිවරයා මුණගැසී තිබේ.

අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ජනාධිපතිවරයා එම නියෝජිත පිරිසෙන් සහාය ඉල්ලා සිටි බවද ජනාධිපති කාර්යාංශය නිවේදනය කර තිබේ.

රුපියල් 6000 ක මාසික මුල්‍යාධාරයක්, ණය කපා හැරීම, නිවාස සංවර්ධන, අධ්‍යාපන, වෘත්තීය පුහුණු හා විශේෂ රැකියා අවස්ථා ඇතුළු ආර්ථික සහන ජනාධිපති යටතේ ඇති OMP කාර්යාලයේ අතුරු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

OMP කාර්යාලය විසින් ගණන් බලා ඇති පරිදි අඩුම වශයෙන් 21,000 ක් යුද සමයේත් ඉන් පසුවත් අතුරුදහන් වී ඇත.

ඒ අතරින් යුද්ධාවසානයෙදී යුද හමුදාවට භාරවීමෙන් පසු ආගිය අතක් නැතියවුන්ගේ ඉරණම හෙළි කරදෙන ලෙස ඥාතීන් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් ද කළ ඉල්ලීම ප්‍රමුඛත්වයෙහි ලා සලකන බව කඩිනම් නිර්දේශ රැගත්  අතුරු වාර්තාව පවසයි.

“2009 වසරේ මැයි මාසයේ දී සන්නද්ධ හමුදාවට භාරදුන් පසු අතුරුදහන් තැනැත්තන් සෙවීමට ප්‍රමුඛත්වයක් දීම සහ කඩිනම් සහන සැලසීම සඳහා පියවර ගැනීම ඇතුළුව ඉදිරිපත් කරන ලද යෝජනා ගණනාවක් OMP විසින් ක්‍රියාත්මක කරනු ඇත,” යි එහි සඳහන් වේ.

අණ දුන් නිලධාරීන්

පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බව අවධාරණය කරන OMP වාර්තාව ඒ සඳහා අපරාධකරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ගතයුතු පියවර ගණනාවක් යෝජනා කර ඇත.

පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි පනත මේ වසරේ මාර්තුවේ සම්මත කර ගැනීම සමගින් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම රජය විසින් අපරාධයක් ලෙස හඳුනා ගෙන ඇත.

එසේ පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බව පවසන OMP කාර්යාලය බලහත්කාර අතුරුදහන් කිරීම් සඳහා  අණදුන් පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි වන පරිදි පනත් සංශෝධනයක්ද නිර්දේශ කරයි.

“පනතේ 3(3) වන වගන්තිය සංශෝධනය කරමින් සියලූ ආකාරයේ අණදීම් වගකීම් වශයෙන් ඇතුළත් කිරීම සහ විශේෂයෙන්ම බලහත්කාර අතුරුදහන්කිරීම් සඳහා අණදීම් ඇතුළත් කිරීම,” එකී නිර්දේශයයි.

අතුරුදහන් වුවන් සොයාගැනීමේ අපේක්ෂාවෙන් ඥාතීන් උසාවියේ පිහිට පතා යන අවස්ථා වලදී නීතිපති දෙපාර්තමේන්තුව චූදිත හමුදා නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් OMP කාර්යාලය විරෝධය පල කර ඇත.

හබයාස් කෝපුස්, පැහැරගෙන යාම් සහ මිනී මැරීම් පිලිබඳ නඩු වලදී, “නීතිපති දෙපාර්තමේන්තුව  නඩුපැවරීමේ සහ පවත්වාගෙන යාමේ ආයතනය ලෙස කටයුතූ කරන අතර තවත් විටෙක හබයාස් කෝපුස් නඩුකර වලදී වගඋත්තරකරුවන් වෙනුවෙන් ද පෙනී සිටීමට සිදුවීමෙන් බැඳියාවන්  අතර ගැටුමක් නිර්මාණය වී ඇති අතර. හබයාස් කෝපුස් නඩුවලදී නීතිපති දෙපාර්තමේන්තුව මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ප්‍රවර්ධනය කරන ප්‍රවේශයකින් රජයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම හැරුණු කොට වැරදි සිදු කළා යැයි කියවෙන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවට දන්වා සිටිමු.”

අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් චෝදනා ලබන නිලධාරීන් දිගටම දඬුවමින් ගැලවී සිටීම ගැන අවධානය යොමුකරන OMP කාර්යාලය සේවයේ යෙදී සිටීමින් උසස්වීම් ලබන ඔවුන්ගේ වැඩ තහනම් කරන ලෙස යෝජනා කරයි.

“බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලද ඇතැම් පුද්ගලයන් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වගකිව යුතු බලවත් ස්ථානයන්හි සහ පරීක්ෂණ කටයුතු සඳහා බලපෑම්කළ හැකි පරිදි රැඳී සිටීමට ඉඩ සලසා දී ඇති අවස්ථා දක්නට ඇත,” යි වාර්තාවේ දැක්වෙයි.

“පැහැරගෙන යාමට සහ අතුරුදහන් කිරීමට අදාළව දැනටමත් අධිකරණයේ විභාගවන නඩුවක චූදිත නිලධාරියෙකු සේවා තහනමකින් තොරව සන්නද්ධ හමුදාවේ රැඳී සිටීමට අවසර ලබා දී ඇත. තවත් එක් සිදුවීමක නිලධාරියෙකුට උසස්වීම් ලබා දුන් අවස්ථාවක්ද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට වාර්තා වී තිබේ. පවතින රෙගුලාසි අනුවත් සාධාරණ භාවිතාව අනුවත් එවැනි නිලධාරීන්ගේ සේවය අත්හිටුවීම සහ අදාළ නිල තත්ත්වයන්හි කටයුතු කිරීමෙන් ඉවත් කිරීම සාධාරණ ලෙස අපේක්ෂාකරයි.”

හමුදා නිලධාරීන්ට හිංසා

අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් තොරතුරු සැපයීමට කැමැත්ත දක්වන ලද හමුදා නිලධාරීන් හිංසනයට ලක් වූ අවස්ථාද වාර්තා වී තිබෙන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් OMP කාර්යාලය විසින් හෙළිදරව් කර තිබේ.

කෙසේවෙතත්, සති අන්ත පුවත්පතක් විසින් වාර්තා කර තිබුනු පරිදි අතුරුදහන් කිරීම ඇතුළු මහා පරිමාන අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන හමුදා නිලධාරීන් සම්බන්ධ තොරතුරු අධිකරණයට පවා ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආරක්ෂක බලධාරීන්ට නියෝග කොට තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍‍්‍රධානි රවි විජේගුණරත්න, ත‍‍්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය බුද්ධි ඒකකයේ ප‍‍්‍රධානී, යුද හමුදා බුද්ධි අංශයේ ප‍‍්‍රධානී සමග පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍‍්‍රධානී, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප‍‍්‍රධානී හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍‍්‍රධානී ඇතුළු නිලධාරීන් පිරිසක් අගෝස්තු 28 දා කොළඹ මහගමසේකර මාවතේ සිය නිවසට කැඳවූ ජනාධිපතිවරයා එම නියෝගය කළ බව ‘අනිද්දා’ පුවත්පත ගිය සතියේ සිය ප්‍රධාන පුවත ලෙස පල කර තිබුනි.

ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවේගම ගේ ප්‍රධානත්වයෙන් යුත් සිවිල් සමාජ ක්‍රියාධාරීන් සමුහයකගෙන් සැදුම් ලත් ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය (CTF) 2016 මුල සිට පැවැත්වූ දීපව්‍යාප්ත මත විමසීමකින් අනතුරුව පීඩිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා වන මෙවැනිම නිර්දේශ සහිතව 2017 ජනවාරියේ භාරදෙන ලද වාර්තාව ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

Comments are closed.

Top