“වසා දමා ඇති කඳවුරු මොනවාද?” ෆීල්ඩ් මාර්ෂල්ට යුද හමුදාවෙන් අභියෝගයක්   

උතුරේ කඳවුරු වසා දමන බවට චෝදනා කරන හිටපු සෙන්පතියන් ඇතුළු “යුද විශ්ලේෂකයන්” හෙලා දකිමින්  ශ්‍රී ලංකා යුද හමුදාව දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

රජය, ආරක්‍ෂක අමාත්‍යාංශය හා යුද්ධ හමුදා නායකත්වය “ජාතික ආරක්‍ෂාව ඈඳාගනිමින්” විවේචනයට කරනු ලබන්නේ “තමන්ගේ පුද්ගලික හා දේශපාලනික හේතූන් මත” යැයි කරන ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික සූදානම දුර්වල බවට යුද සමයේ හමුදාපති ඇතුළු විවිධ විශ්‍රාමික හමුදා නිලධාරීන් මෙන්ම සිංහල ජාතිකවාදී බලවේග නියෝජනය කරන දේශපාලකයන් හා මාධ්‍යවේදීන් ද විවේචන නගා තිබුනි.

“යථායෝග්‍ය ප්‍රමාණකරණය” නම් වැඩ පිළිවෙලක් යටතේ “අඩු භට පිරිසකගෙන් යුත් බළඇණි සංඛ්‍යාත්මක වශයෙන් ශක්තිමත් කිරීම” කඳවුරු වසා දැමීමක් බවට අර්ථකථනය කිරීම විවේචන වලට පදනම ලෙස හඳුන්වන යුද හමුදා මුලස්ථානය ඒ කඳවුරු නම් කරන ලෙස අභියෝග කර සිටී.

“මේ වන විට ආරක්‍ෂක සේනා මූලස්ථානය (යාපනය) බල ප්‍රදේශයෙහි සියළුම ඒකක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ ප්‍රතිසංවිධානය කර ඇති හෙයින්, එහිදි වසා ඇති යුදමය වශයෙන් වැදගත්වන කඳවුරු මොනවාද යන්න පෙන්වා දෙන ලෙස උක්ත හඳුන්වාගත් යුද විශ්ලේෂකයින් හට යුද්ධ හමුදාව අභියෝග කර සිටී,” යි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගේ අත්සනින් ඉරිදා නිකුත් කළ නිවේදනයකින් කියා තිබේ.

යුද හමුදාපතිගේ “පුරසාරම්” හා “මොට්ට කම්”

කඳවුරු වසා උතුරේ ඉඩම් ආපසු දෙන බවට යුද හමුදාපති මහේෂ් සේනානායක “පුරසාරම් දොඩන” බව ප්‍රකාශ කරමින් හිටපු හමුදාපතිවරයා එය හඳුන්වා තිබුනේ “මොට්ට කමක්” ලෙසිනි.

“හමුදාව වාඩිලා ගෙන සිටින ඉඩම් අඩු කොට, ඉඩම් ආපසු ජනතාවට දෙමින් කඳවුරු ගණනාවක් වසා දමන බවට යුද හමුදාපති පුරසාරම් දොඩන බව මට ඇහිලා තියෙනවා. ඒක මොට්ට කමක්,” යයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඩේලි මිරර් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුනි.

වනජීවී අමාත්‍යවරයා ගේ එම ප්‍රකාශයෙන් සති කීපයක් ඇවෑමෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පවසා තිබුනේ තමන්ගේ යුද සූදානම පිළිබඳ සමාලෝචනය කිරීමේ හැකියාවක් හෝ “සදාචාරමය අයිතියක්” හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට නැති බවයි.

“මෑතකදී ද ඇතැම් විශ්‍රාමික හමුදා නිළධාරීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුදමය සූදානම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් නොවන බැව් ප්‍රකාශ කර ඇති අතර වසර ගණනාවකට පසුව විශ්‍රාම ගොස් පිටත සිට යුද්ධ හමුදාවේ යුධමය ශක්තිය පිළිබඳව සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි අතර සදාචාරාත්මක අයිතියක්ද ඔවුන් වෙත නොමැත,” යි බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.

“එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හීදි හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් මෙන්ම, අත්දැකීම් සහිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් යුද්ධ හමුදාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට යුද්ධ හමුදාව සෑමවිටම ක්‍රියාකර ඇති අතර ඉදිරියටත් එසේ කටයුතු කිරීමට කිසිඳු අවස්ථාවක නොපසුබට වන බව තවදුරටත් දන්වා සිටිමි.”

කෙසේවෙතත්, වනජීවී අමාත්‍ය ධුරය දරන හිටපු හමුදාපතිවරයා පවසන්නේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තමන්ගෙන් කිසිදු විමසීමක් කර නැති බවයි.

“2015 ජනවාරි 8 මැතිවරනෙට ඉස්සෙල්ලා නම් අපිත් එක්ක ආරක්ෂක කටයුතු ගැන කතා කළා. 2015 ජනවාරි 8න් පස්සේ නම් මගෙත් එක්ක එක වචනයක්වත් කතා කරලා නෑ ආරක්ෂක කටයුතු ගැන,” ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය සතියේ මාධ්‍යවේදීන් හා පැවසීය.

 

 

 

 

 

Related posts

Comments are closed.

Top