හිදැස: මුලතිව් සිංහල ජනපදකරණය, ජනබලය, සීමානිර්ණය, උතුරු නැගෙනහිර කාර්ය සාධක බලකාය හා දෙමළ සන්ධානය

මහවැලි අධිකාරියට එරෙහිව මුලතිවු හි පැවැත්වුනු විරෝධතාව දමිළ පුවත්පත් තුළ පුළුල් ආවරණයක් ලබාගෙන තිබුණත්, සිංහල පුවත්පත් තුළ එය වාර්තා  වී තිබුණේ ඉතාමත් අවම වශයෙනි. උතුරු පළාත සහ නැගෙනහිර පළාත අතරට විශාල සිංහල ජනපද ඇතුළත් කිරීම මගින් දමිළ නිජභූමියේ සමාන්තර පැවැත්ම බිඳ දැමීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරියට චෝදනා එල්ල කොට සිටි විරෝධතා කරුවන් සම්බන්ධයෙන් දමිළ පුවත්පත් ආවරණය ඉතා ප්‍රබල වශයෙන් අනුකම්පා සහගත වූ බව නිරීක්ෂණය කළ හැකි විණි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය ‍රැළිය සිංහල පුවත්පත් තුළ ප්‍රධාන ප්‍රවෘත්තියක්ව තිබුණත්, දමිළ පුවත්පත් තුළ ඊට ලැබී තිබුණේ ඉතා අවම අවධානයකි.

සීමා නිර්ණ කමි‍ටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කෙරේ

මිශ්‍ර මැතිවරණ ක්‍රමයට සහ පළාත් සභා මැතිවරණ නව ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය නව සීමානිර්ණයට පළමුව සහාය පළ කොට, ඉන් පසුව එයට පස්ස ගැසීම පිළිබඳව සිංහල මෙන්ම දමිළ පුවත්පත්ද රජයට විවේචන එල්ල කරන ලදී. තමන්ගේම වාර්තාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම හරහා රජය විසින් මෙම සමස්ත ක්‍රියාවලියම සමච්චලයට ලක් කොට ඇති බවට සහ මහජන මුදල් නාස්ති කොට ඇති බවට එකඟතාවයක් භාෂා දෙකේම පුවත්පත් තුළ දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වන ෆයිසර් මුස්තාපාව මෙම විවේචනයන් සඳහා ඉලක්ක වී තිබිණි. එසේම සැලකිය යුතු ප්‍රමාණයක සිංහල සහ දමිළ දේශපාලන මත දක්වන්නන් විසින් ප්‍රශ්න කොට සිටියේ මෙම සීමානිර්ණ ක්‍රියාවලිය පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද කිරීම සඳහා වූ හුදු උපක්‍රමයක් පමණක් නොවේද යනුවෙනි.

කෙසේ වුවත් මුස්ලිම් දේශපාලන ලියුම්කරුවන්ගෙන් බහුතරය පාර්ලිමේන්තුව මගින් මෙම වාර්තාව ප්‍රතික්ෂේප කිරීම දැක තිබුණේ ධනාත්මකවය. මෙම දෘෂ්ටිය කේන්ද්‍රගතව තිබුණේ මෙම යෝජිත මැතිවරණ ක්‍රම වෙනස් කිරීම් මගින්, නැගෙනහිර පළාතේ හැරෙන්නට ඉන් පිටත ඇති පළාත් සභා තුළ මුස්ලිම් නියෝජනය සැලකිය යුතු තරම් පහත වැටෙනු ඇතැයි යන නිරීක්ෂණය මතය. ඔවුන් තර්ක කරන්නට යෙදුණේ, තනි අපේක්ෂකයකුගෙන් සැදුම් ලත් බහු-වාර්ගික මැතිවරණ කොට්ඨාස තුළ කේවල ආසන ක්‍රමය (FPP) මගින් නොතකා නොසිටිය හැකි තරම් ප්‍රබල ලෙසින් මෙම කොට්ඨාසයන්හි බහුතර ප්‍රජාවට වාසිය ලැබෙනු ඇති බවටයි.

වීරකේසරී ලිපියක් මගින් නිරීක්ෂණය කොට තිබූ ආකාරයට, මෙම ගැටළුවට විසඳුමක් සෙවීම සඳහා මුස්ලිම් සිවිල් සංගම් ක්‍රියාකාරීන් විසින් යෝජනා කර සිටි දකුණේ නව මුස්ලිම්-බහුතර මැතිවරණ කොට්ඨාස නියම කිරීම හෝ කේවල අපේක්ෂක බහු-වාර්ගික මැතිවරණ කොට්ඨාසයන් ද්විත්ව අපේක්ෂක හෝ ත්‍රිත්ව අපේක්ෂක කොට්ඨාස බවට පරිවර්තනය කිරීම වැනි යෝජනා අවසන් වාර්තාවට ඇතුළත් වී නොතිබුණි. උදයන් කතුවැකිය මගින් නිරීක්ෂණය කරන්නට යෙදුණේ, ශ්‍රී ලාංකික ඉන්දීය දමිළ ප්‍රජාවද මුස්ලිම් ප්‍රජාව හා සමානම ප්‍රතිවිපාකයන්ට මෙහිදී මුහුණ පානු ඇති බවයි.

කාටුනය: තිනක්කුරල්

දෙමළ ජාතික සන්ධානයට බරපතළ උභ‍තෝකෝටිකයක්

උතුරු සහ නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට එක් වීමට දෙමළ ජාතික සන්ධානය ගත් තීරණය දමිළ පුවත්පත් මත දැක්වීම් තුළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත ජනනය කරවීමට සමර්ථව තිබිණි. මෙම තීරණයට විරුද්ධ වූවන් විසින් තර්ක කොට සිටියේ, දෙමළ ජාතික සන්ධානයේ මෙම තීරණය මගින් දමිළ ප්‍රජාවට දේශපාලන විසඳුමක් සොයනවාට වඩා සංවර්ධනය වඩාත් ප්‍රමුඛ වන බවට දකුණට සහ ජාත්‍යන්තර ප්‍රජාවට වැරදි හැඟීමක් සන්නිවේදනය වනු ඇති බවටයි. දමිළ පුවත්පත් තුල වූ ඇතැම් කොටස් මගින් මෙම කාර්ය සාධක බලකායට හමුදා නිලධාරින්ද ඇතුළත් වන බව හුවා දක්වමින් චෝදනා කොට සිටියේ, දෙමළ ජාතික සන්ධානයද එම කාර්ය සාධක බලකායට සහභාගී වීම ඔස්සේ ඔවුන් මිලිටරීකරණයට සුජාත භාවයක් ලබාදෙන බවටයි. මෙම තීරණය සඳහා සහාය දක්වන්නන් මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, මෙම කාර්ය සාධක බලකායේ විධිවිධාන වන උතුරු සහ නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු ඉක්මන් කරවීම දමිළ ප්‍රජාවට මේ මොහොතේ වැදගත් වන කරුණක් ලෙසින් දක්වමින් සඳහන් කොට සිටියේ, මෙම කාර්ය සාධක බලකාය තුළ දෙමළ ජාතික සන්ධානයේ සහභාගීත්වය තිබීම තුළින් දමිළ ලැදියාවන් වඩාත් සවිබල ගැන්වෙනු ඇති බවයි.

මෙම ගැටළුවට සම්බන්ධිත වඩාත් පුළුල් කතිකාව මගින් හෙළිදරවු වූයේ, තමන්ගේ දේශපාලන මූලධනය යෙදවීම වඩාත් ඵලදායී වන්නේ සැබෑ වීමට ඉඩක් නැති බවක් පෙනෙන නව ව්‍යවස්ථාවක් කෙරෙහිද නැතිනම් දමිළ ප්‍රජාවගේ ආර්ථික ඛේදයන්ට විසඳුම් සෙවීම කෙරෙහිද යන ‍තෝරාගැනීම් අතර බරපතළ උභ‍තෝකෝටිකයක දෙමළ ජාතික සන්ධානය සිරව සිටිනා බවයි. මෑතකදී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය සන්දර්භයේ තබමින් බැලූ විට, යුද්ධයේ පහර දැඩිවම ලැබූ වන්නි කලාපයට අයත් කිලිනොච්චි, මන්නාරම හා මුලතිවු දිස්ත්‍රික්කයන් තුළ දෙමළ ජාතිකවාදී පක්ෂ මගින් ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් සියයට විස්සකින් හෝ ඊටත් වැඩි ප්‍රමාණයකින් පහත බැස තිබීම සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ, දෙමළ ජාතික සන්ධානය මෙතෙක් දීර්ඝ කාලයක් අත්විඳි වාසනාව රඳා පවතින්නේ උක්ත කී අරමුණු දෙක සමබරව තබාගන්නේ කෙසේද යන්න මත බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

 

Related posts

Comments are closed.

Top