හමුදා චූදිතයන්ට එරෙහි පරීක්ෂණ ගැන නීති නිලධාරීන්ට ජනපතිගෙන් දෝස්මුරයක් | VIDEO

පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ඇතුළු රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුනු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලබන ආරක්ෂක අංශ නිලධාරීන්ට නඩු දැමීම පමා කරන බවට රහස පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

නීතිපති වරයාත්, පොලිසියේ සහ රහස් පොලිසියේ ඉහල නිලධාරීනුත් කැඳවා “තදින් දෝෂාරෝපනය” කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 14 සිකුරාදා කියා සිටියේ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ප්‍රධානීන් අමතමිනි.

ජනාධිපතිවරයා දොස් පවරා ඇත්තේ සන්ඩේ ලීඩර් ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ද නේෂන් පුවත්පතේ හිටපු සම සංස්කාරක නොයාර්ට පහර දීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම සහ කොළඹ හා ඒ අවට දී එකොලොස් දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු සැකපිට අත් අඩංගුවට ගන්නා ලද කිසිවකුටත් එරෙහිව නඩු පවරා නොතිබීම ගැනයි.

එකොලොස්දෙනා පැහැරගෙන ගැනීම ගැන සැක කෙරෙන නාවික හමුදා නිලධාරියකුට වසංවී සිටීමට උදව් දීම සම්බන්ධයෙන් චෝදනා ලබන රටේ ඉහලම හමුදා නිලධාරියා ප්‍රශ්න කිරීමට කැඳවීමත් ජනාධිපති වරයා කෝප ගැන්වීමට හේතු වී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න රහස් පොලිසියට කැඳවා තිබූ සැප්තැම්බර් 10 දා ඔහු මෙක්සිකෝවේ 208 වැනි නිදහස් දින උළෙලේ ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වීම සඳහා බලා ගුවන් ගතවී තිබුනි.

අද්මිරාල් විජේගුණරත්න අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අවසර දී තිබුනේ අගෝස්තු 30 දාය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස්පති නීතිපති කැඳවා මම ඒ ගොල්ලන්ට තදින් දෝෂාරෝපනය කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයට ඇයි මේ තරුණයෝ පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරපු අයට නඩු දාන්නේ නැත්තේ,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය.

පොලිස් ක්‍රියා කලාපය නිසා තමන්ට “රණවිරුවන් දඩයම් කරන” බවට චෝදනා නැගෙතැයි ඔහු පැවසීය.

තම දෝෂාරෝපණයට ගොදුරුවූ නිලධාරීන් දුන් පිළිතුර කුමක්දැයි ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නේ නැත.

ඔහු විසින් නම් කරන ලද සියලුම අපරාධ සම්බන්ධයෙන් පාහේ කෙරෙන විභාග ඇණහිටීමට ප්‍රධාන හේතුව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට කිහිප වර දැනුම් දී තිබුනේ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හමුදා ප්‍රධානීන් සහයෝගය නොදැක්වීමය.

පරීක්ෂණ වලට සහාය දක්වන ලෙස තමන් යටතේ සිටින හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේදැයි ජනාධිපතිවරයා පැහැදිලි කළේ නැත.

පැහැරගෙන ගොස් ඝාතනය කළ තරුණයන් ලෙස ජනාධිපතිවරයා හැඳින්වූ එකොලොස් දෙනා අතර මැදි විය ඉක්මවූ පියවරු සහ ව්‍යාපාරිකයෝ ද වෙති.

කෙසේවෙතත්, ජනමාධ්‍ය වෙත නිවැරදි තොරතුරු නොලැබෙන හෙයින් සමතුලිත පුවත් පල නොවීම නිසා ජනතාව නොමග යන බව ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන්ට කියා සිටියේය.

Related posts

Comments are closed.

Top