හිදැස: ජනබලය කොළඹට, එජා මානව හිමිකම් කොමිසම, උතුරු පළාත් සභාවේ යුද අපරාධ යෝජනාව, TNA සහ විග්නේස්වරන්

මෙම සතියේ සිංහල සහ දමිළ භාෂා පුවත්පත් අතර අතිපිහිත වුණු එකම ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ, ඒකාබද්ධ විපක්ෂයේ ‘ජන බලය කොළඹට’ විරෝධතා ‍රැළිය පමණි. රටේ ආර්ථික තත්වය සහ ජනතාව මත පැටවුණු බදු බර සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ සිංහල භාෂා පුවත්පත් ආවරණයක් දක්නට ලැබුණත්, එම කරුණු දමිළ භාෂා පුවත්පත් ආවරණයන් තුළ අවධානයට පාත්‍ර වී නොතිබුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරය පසුගිය සතියේ ජිනීවාහිදී ආරම්භ විණි. නමුත් පසුගිය වසරවලට සාපේක්ෂව බලනා විට භාෂා ද්විත්වයේම පුවත්පත් තුළ මේ සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා හා ලිපි ප්‍රමාණයේ සැලකිය යුතු පහත වැටීමක් දක්නට ලැබිණි.

ජන බලය: අපේක්ෂා භංගත්වයේ කූටප්‍රාප්තිය

ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය කොළඹට ‍රැළිය සම්බන්ධයෙන් සිංහල සහ දමිළ භාෂා පුවත්පත් විශ්ලේෂණය එකඟ වී තිබුණේ, එය අවසානයේදී නිරර්ථක උත්සාහයක් වූයේය යන නිරීක්ෂණයේදීයි. භාෂා දෙකේම පුවත්පත් මගින් සංසන්දනය කොට දක්වන්නට යෙදුණේ, ජන බලය කොළඹට ‍රැලියේ ඉහළ අපේක්ෂා (එනම් රජය පෙරළා දැමීම) සහ සැබෑ ප්‍රතිඵලය (ඉතාමත් දුර්වලව සංවිධානය කළ විරෝධතාවය) අතර වෙනස අතීතයේදී ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කළ මීට සමාන විරෝධතාවයන්ට පවා සමාන නොවෙනා බවයි.

ඒකාබද්ධ විපක්ෂය මගින් මෙම ‍රැළිය ඉදිරිපත්කරනු ලැබුවේ රජය බලයෙන් පහ කිරීම සඳහා වන තීරණාත්මක පියවරක් ලෙසින් වුවත්, භාෂා දෙකේම පුවත්පත් තුළ සැලකිය යුතු තරම් කොටසක් මගින් මෙය දැක තිබුණේ මීලඟ ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරනා අපේක්ෂකයා සම්බන්ධව පැතිර පවත්නා අවිනිශ්චිත භාවය සඳහා වන ප්‍රතිචාරයක් ලෙසිනි.

භාෂා දෙකේම පුවත්පත් තුළ දේශපාලන මත දක්වන්නන් විසින් ජන බලය විරෝධතාවය අර්ථ නිරූපණය කරනු ලැබුවේ, තමන්ගේ කැමැත්ත හිමි තම දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙසින් සිය වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂ ඉස්මතු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ විසින් තමන්ගේ පසින් ගත් ප්‍රයත්නයක් ලෙසිනි. සැප්තැම්බර් 5 දිනට පෙරාතුව නාමල් රාජපක්ෂ විසින් ‍රැළියේ ප්‍රමුඛ නායකත්වයක් භාරගන්නට යෙදිනි. සහාය දක්වන කණ්ඩායම් සමගින් ඔහු ‍රැස්වීම් පවත්වන ඡායාරූප දේශීය පුවත්පත් තුළ මුල් පි‍ටුවලම දක්නට ලැබිණි. මෙම ‍රැළිය සම්බන්ධයෙන් වැඩිම තොරතුරු හා අන්තර්ගතයන් ප්‍රමාණයක් ඔහුගේ සමාජ ජාල ගිණුම් තුළ දක්නට ලැබිනි. ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමුඛතම නායකයින් විසින් නැවත නැවතත් නාමල් මෙම ‍රැළියේ සංවිධායකයා ලෙසින් රාජපක්ෂ හඳුන්වන්නට යෙදිනි. මෙසේ මහින්ද රාජපක්ෂ විසින් නාමල් ඉහළින් තැබීම උදෙසා ජන බලය ‍රැළිය භාවිතා කළ ආකාරය සහ ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් එළිපිටම අනුමත කිරීමට මහින්ද රාජපක්ෂ විසින් දිගින් දිගටම දක්වන අකමැත්තත් ගත් විට, එය හිටපු ජනපති සිය පවුලෙන් දේශපාලන බලයේ කේන්ද්‍රය විතැන් වෙමින් පවතින බව පිළිබඳව කල්පනාවෙන් සිටින්නේ යැයි වන දෘෂ්ටිය තවත් ශක්තිමත් කොට තිබිණි.

තවත් පුවත්පත් දෘෂ්ටියකින් තරයේ කියා සිටියේ, කාලයෙන් කාලයට ජනතාව එකතු කර තමන්ට ජනතාවාදී සහාය හිමි බව පෙන්වීම, සැබවින්ම ජනතාව තමන් සමගින් සිටිනා බව සිහිකැඳවමින් කරනා තැතිගැන්වීමේ උපක්‍රමයක් බවයි. උදාහරණයක් ලෙසින් ගත් විට තිනකුරල් ලිපියකින් තර්ක කෙරුණේ ජන බලය දැකිය යුත්තේ රාජපක්ෂ පවුලට සහ ඔවුන්ගේ ලඟම හිතවතුන්ට එරෙහිව නැගෙනා දූෂණ චෝදනාවන්ට ලැබෙනා ඉහළ නෛතික අවධානය යන සන්දර්භයේ තබා බවයි. ඒකාබද්ධ විපක්ෂය විවේචනය කරන්නන් විසින් මෙම විරෝධතාවය හඳුන්වා දී තිබුණේ හොරු ‍රැළක් එක්වී තමන්ගේ පෞද්ගලික ලැදියාවන් ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමක් ලෙසිනි.

දෙමළ ජාතික සන්ධානය හා විග්නේශ්වරන්: කළකිරුණු අවසානයක්?

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයක් පිහි‍ටුවන ලෙසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමින් යෝජනාවක් සම්මත කරගැනීමට උතුරු පළාත් සභාව කටයුතු කොට තිබිණි. මෙම පියවර සැලකිය යුතු තරමේ සිංහල භාෂා පුවත්පත් අවධානයක් ලබාගෙන තිබුණත්, මෙම යෝජනාව දමිළ භාෂා පුවත්පත් තුළ ලබාගෙන තිබුණේ නොගිණිය හැකි තරම් සුළු අවධානයකි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් දිනපතා දමිළ ජාතික පුවත්පත් එකක හෝ මුල් පි‍ටුවට යෑමට මෙම ප්‍රවෘත්තියට හැකිවී නොතිබුණි.

සිංහල පුවත්පත් තුළ පවා මෙම යෝජනාව සම්මත කරගැනීම පිළිබඳ කතිකාව මූලිකවම කේන්ද්‍රගතවී තිබුණේ උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් සහ දමිළ දේශපාලන නායකත්වයේ අනාගතය වටායි. මෙම සතියේ දමිළ පුවත්පත් වාර්තාකරණය මගින්ද දෙමළ ජාතික සන්ධානයේ සහ සී.වී.විග්නේශ්වරන්ගේ දේශපාලන අනාගතය වටා වූ ගැටළු කෙරෙහි සුවිශාල අවධානයක් ලබාදී තිබුණි අතර, මෙම අදහස් හා කතිකාවන් සම්බන්ධ වී තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ වෙතයි.

දමිළ දේශපාලන නිරීක්ෂකයන් විසින් පුරෝකථනය කරන්නට යෙදුණේ උතුරු පළාත් සභාවේ පාලන කාලය අවසානයට ලඟා වූ විට විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන්ම වෙන්ව යනු ඇති බවටයි. මීලඟ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්ෂකයා කවුරුන් වනු ඇතිදැයි පක්ෂ නායක ආර්.සම්බන්ධන් විසින් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කොට නොතිබුණත්, මහ ඇමති අපේක්ෂකයා විග්නේශ්වරන් නොවනු ඇතැයි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් විසින් ඉඟි කොට තිබිණි.

මෙම පසුතලයේදී මීලඟ පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සම්බන්ධයෙන් ගත් විට විග්නේශ්වරන්ට සැබවින්ම ඉතිරි වන එකම විකල්පය වන්නේ දෙමළ ජාතික සන්ධාන විරෝධී පක්ෂයන්ගේ පුළුල් සන්ධානයකට නායකත්වය දීම පමණි. කෙසේ වුවත් මෙය සුගම, සුකර කාර්යයක් නොවනු ඇත. වීරකේසරී ලිපියකින් ඉස්මතු කොට පෙන්වා දුන් පරිදි විග්නේශ්වරන් හට මැතිවරණ සන්ධාන කළමනාකරණය කිරීම, දේශපාලන වේදිකාවක් ස්ථාපනය කිරීම හෝ ආසන වෙන් කිරීම් හැසිරවීම වැනි ඉතා වැදගත් කාර්යයන් පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැත. තවදුරටත් මෙවැනි ව්‍යාපෘතියකට ගැලපෙන හවුල්කරුවන් අතර දැඩි දේශපාලනමය වෙනස්කම්ද ඇත. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් 2018 පළාත් පාලන මැතිවරණය පෙරදැරි කොට ගනිමින් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) සහ ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) අතර ගොඩනැඟුණු සන්ධානය, එය නිර්මාණය වී සති කිහිපයක් තුළදීම බිඳ වැටිනි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි 

Related posts

Comments are closed.

Top