යුද අපරාධ ගැන ආයෙත් කතා නොකිරීමට හෙළ උරුමයෙන් යෝජනා මාලාවක් | VIDEO

දස අවුරුද්දක් තිස්සේ නොවිසඳී තිබෙන ශ්‍රී ලංකාවේ රජයට එල්ලවී තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳ  සාකච්ඡාව නවතා දැමීම සඳහා ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයකින් යෝජනා මාලාවක් ඉදිරිපත් වී තිබේ.

ජාතික හෙළ උරුමය විසින් එම යෝජනා ජනමාධ්‍යවේදීන් හමුවේ තබන ලද්දේ යුක්තිය ඉටු කිරීම සඳහා  ජගත් මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමග හවුලේ ඇති කරගත් ජිනීවා සම්මුතිය සංශෝධනය කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ගෙන එන බව ජනාධිපතිවරයා විසින් මාධ්‍ය ප්‍රධානීන්ට දැනුම් දී දින කිහිපයකිනි.

සිරගත කොට සිටින ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා සහ අතුරු හමුදා කල්ලි සාමාජිකයන්ට මෙන්ම එල්ටීටීඊ සැක කරුවන්ටද සමාවක් දී නිදහස් කර යැවීම හෙළ උරුමයේ මූලික යෝජනාවකි.

යුද්ධයේදී අපරාධ සිදුකරන ලද බව පිළිගත් හෙළ උරුමය නායකයා ඒවා හැඳින්වුයේ “යුද්ධයේ අභිමතාර්ථ සාධනයේ සිදුවෙච්චි අපරාධ” යනුවෙනි.

“යුද්ධයේ අභිමතාර්ථ සාධනයේ සිදුවෙච්චි අපරාධ මොනවාද, පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගන්න, කප්පම් ගන්න එහෙම නැතිනම් බය කරන්න, සිදුකරන ලද අපරාධ,”  වෙන්කොට වර්ග කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන යොදා ගත යුතු බව අමාත්‍ය චම්පික රණවක කෝට්ටේ හෙළ උරුමය මුලස්ථානයේදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

“දරුවන් පැහැරගෙන යාම, මිනී මැරීම සහ ස්ත්‍රී දූෂණ” අමාත්‍යවරයා විසින් හඳුන්වා දෙන ලද්දේ පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා කරන ලද අපරාධ ලෙසයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම වර්තමාන ආණ්ඩුව විසින් පිහිටුවන ලද ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය (CTF) සහ අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය (OMP) ඇතුළු ආයතන ගණනාවක් විසින් වාර්තා කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පණත සහ හදිසි නීතිය වැනි අනපනත් යොදාගෙන යුද සමයේත්, ඉන් පසුවත්, පැහැරගෙන යාම්, ඝාතන හා ස්ත්‍රී දුෂණ ඇතුළු ලිංගික වධහිංසා කිරීම සම්බන්ධයෙන් රජයේ ආරක්ෂක අංශ චෝදනා ලබයි.

රාජපක්ෂ පාලනයේ කැබිනට් සගයකු වූ හිටපු ඇමැති එස් බී දිසානායක පසුගිය සතියේ පිළිගත් පරිදි යුද්ධාවසානයේ රජයේ ආරක්ෂක හමුදා වෙත භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් මරාදමා තිබේ.

ඒවා කවර අභිමතාර්ථ සාධනය සඳහා කරන ලද අපරාධ ගණයෙහි ලා සැලකෙන්නේදැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා පැහැදිලි කළේ නැත.

සිරගත කොට ඉන්නා සුළු පිරිස මෙන් නොව අපරාධ කළ “දස දහස් ගණනක්” නිදැල්ලේ ඉන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.

පැහැරගැනීම්, වධදීම් සහ ඝාතන ගැන චෝදනා නැගී ඇති හමුදා නිලධාරීන් සම්බන්ධ විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය සතියේ ඔවුන්ට දැඩි ලෙස දොස් පවරා තිබුනි.

බන්ධනාගාරගත කොට සිටින ආරක්ෂක අංශ වලත්, එල්ටීටීඊයේත්, රජයට සහාය දුන් අතුරු හමුදා කල්ලි වලත් සැමට ජාතික සමාවක් දී නිදහස් කිරීමෙන් අනතුරුව ඒ සඳහා සර්වපාක්ෂික අනුමැතියක් ලබා යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව අමාත්‍ය චම්පික රණවක අවධාරණය කළේය.

“ආයේ කිසිම සිංහල සංවිධානයක්, දෙමළ සංවිධානයක්, මුස්ලිම් සංවිධානයක් යුද්ධ කාලේ සිදුවුනයි කියන සිදුවීම් ගැන කතා නොකර අපි ඒවා සම්පුර්ණයෙන් අමතක කරලා දාල අනාගතය නිර්මාණය කරගන්න ඕනේ,” යි ඔහු කියා සිටියේය.

Related posts

Comments are closed.

Top