දෙමළ පිරිමින්ට අත් අඩංගුවේ දී “ගැහැණුන්ගෙන් ලිංගික වද” | VIDEO

එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දෙමළ පිරිමින්ට පොලිස් හා හමුදා නිලධාරිනියන්ද ලිංගික වධහිංසා කළ බව ජගත් මානව හිමිකම් මණ්ඩලය රැස්වෙද්දී ජිනීවාහිදී ප්‍රකාශයට පත් කෙරුනු අලුත්ම  වාර්තාවකින් චෝදනා කරයි.

යුද්ධය හමාර වූ බව රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2009 සිට මේ දක්වා කාලය තුල අත් අඩංගුවේ දී වධහිංසාවට පත්වූ සියයකට වැඩි පිරිමි විසින් හෙළිකරන ලද බියජනක තොරතුරු ආශ්‍රයෙන් එම වාර්තාව යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා ඇත්තේ යුත්  ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසිනි.

“නිහැඬියාව බිඳීම: ගැලවී පැමිණි පිරිමි ශ්‍රී ලංකාවේ යුද්ධය ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩතා පිළිබඳව කතා කරති” වාර්තාව සඳහා ශ්‍රී ලංකාවෙන් පලා විත් සිටින එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දෙමළ පිරිමින් 121 ක් තොරතුරු ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ දී පිරිමින්ට කරන ලද ලිංගික වධබන්ධන ඇතුලත් මුල්ම වාර්තාව වන මෙහි සංස්කාරිකාව පවසන්නේ මෙයාකාර අතිශය කම්පා කරවන සුළු විස්තර මින් පෙර නැසූ විරූ බවයි.

“කටුකම්බි පාවිච්චි කර පිරිමි ලිංගික වශයෙන් දූෂණය කරනු වැනි වධහිංසා මම මීට පෙර අසා නැහැ,” යි යුද ගැටුම්, සංහිඳියාව සහ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩතා පිළිබඳ විශේෂඥ වරියක් වන බෙල්ජියමේ ලූවන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය හෙලීන් ටූකේ ගගන හා කියා සිටියාය.

බොස්නියාව ඇතුළු රටවල් ගණනාවක ලිංගික වධහිංසා පිළිබඳව ඇය පර්යේෂණ පවත්වා තිබේ.

වධක ස්ත්‍රීන්

වධහිංසාවට ගොදුරු වීම ගැන තොරතුරු සපයා ඇති ලාබාලම තරුණයාගේ වයස අවුරුදු 14 කි. වයස්ගතම තැනැත්තා වයස අවුරුදු 40 ඉක්මවූවකු බව පවසන ITJPය කිහිප අවස්ථාවකම කාන්තාවන් ලිංගික වධහිංසා කළ ආකාරය වාර්තා කර තිබේ.

“මගෙන් ප්‍රශ්න කරපු  බුද්ධි අංශයේ නිලධාරිනියක් අන්තිම නරක විදියට මට වද දුන්නා,” යි එක් පීඩිතයකු පවසා තිබේ.

“එයා හිටියේ යුනිෆෝම් ඇඳලා. එයා මට බැටන් පොලු වලින් ගැහුවා. එයා තමයි නපුරුම වදකාරී. එයා මට ලිංගික වධහිංසා කළා. මගේ රහසඟ පාගලා ඒකට පොලු වලින් ගැහුවා. පුරුෂ ලිංගය නූලකින් ගැටගහලා ඇද්දා. එයා සිංහල උනාට දෙමළෙන් කතා කළා.”

තවත් වින්දිතයකු පවසා ඇති පරිදි ඔහු ඇතුළු පිරිසකට එක් වරෙක වද දී ඇත්තේ කාන්තාවන් කණ්ඩායමකි.

“පොලිස් නිලධාරිනියන් හතර දෙනෙක් හිටපු කාමරේකට අපිව ඇඳුම් ගලවලා අරගෙන ආවා. දෙන්නෙක් යුනිෆෝම් සායවල් ඇඳගෙන. දෙන්නෙක් සාරි ඇඳගෙන. ඒ එක්කෙනෙක් ගැබිනියක්.”

වධහිංසා කළ නිලධාරීන් යුද හමුදාව, පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රහස් පොලිසිය ඇතුළු රජයේ විවිධ ආරක්ෂක අංශ වලට අයත් වන බව වාර්තාව හෙළි කරයි.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

ශ්‍රී ලකාවේ රජය ප්‍රකාශ කරන්නේ වධහිංසාව සම්බන්ධයෙන් කිසිත් නො ඉවසා සිටින ප්‍රතිපත්තියක් තමන් අනුගමනය කරන බවයි.

මානව හිමිකම් මණ්ඩලයේ 39 වැනි සැසි වාරයේ දී හිතුමතේ රඳවා ගැනීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ ජිනීවා නිත්‍ය නියෝජිත එම් එල් ඒ අසීස් ප්‍රකාශ කළ පරිදි ආණ්ඩුව වධහිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුති ගණනාවකට අත්සන් ද තබා ඇත.

ආචාර්ය හෙලීන් ටූකේ පවසන පරිදි හෙළිවන අපරාධ සම්බන්ධ වගකීම ප්‍රතික්ෂේප කිරීමේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනත් කිසිදු රටකට දෙවැනි නොවේ

දණ්ඩ මුක්තිය සහ පවතින දේශපාලන ව්යාකුලතාව මැද පීඩිතයන්ට රට තුල විසඳීමක් ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් වාර්තාව දක්වන්නේ අඳුරු චිත්‍රයකි.

“යුද අපරාධ සහ ලිංගික අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය, මුල්‍ය වංචා දූෂණ, ප්‍රතික්ෂේප කිරීම් සහ නිහැඬියාව, ලිංගික වෙනස්කම් හා ආශ්‍රිත සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණ නොමැතිවීම හා එක්වූ කිසිදු සංක්‍රාන්ති යුක්තියක් නැති වීම ලිංගික ප්‍රචණ්ඩතා වලින් දිවි ගලවා ගත්තවුන්ගේ තත්වය යහපත් අතට හැරවීමට හරස්ව ඇති මහා බාධක වෙයි.”

එසේ හෙයින්, වධහිංසාවට ගොදුරුවී රට තුලත්, විදේශගතවත් ඉන්නා පීඩිතයන්ගේ කතාවලට හොඳින් කන් දී ලේඛනගත කිරීමේ අවශ්‍යතාව වාර්තාව දැඩි ලෙස අවධාරණය කරයි.

Related posts

Comments are closed.

Top