UN සමුළුවට “නව මානය” පැහැදිලි කළේ නැතැයි කරට අත දැමු ජනපතිට මනෝ කියයි

ශ්‍රී ලංකාව දෙස බැලිය යුතු අලුත් විදිය කුමක්දැයි ජගත් රාජ්‍ය නායකයන්ට පැහැදිලි නොකළ වග නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ආණ්ඩුවේ දූත පිරිසේ අමාත්‍යවරයෙක් ජනාධිපතිවරයා ට සිහිපත් කර දී තිබේ.

“යුද්ධය අවසන් වෙලා වසර 10 ක් ගතවන අවස්ථාවක, අලුත් විදියට මාගේ මාතෘ භූමිය දෙස බලන්න කියා මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමින් පවසා තිබුනි.

“ප‍්‍රබල යුද්ධයක් තිබී එය අවසන් කරන ලද සාමකාමී රටක, ජාතික සංහිඳියාව ශක්තිමත් කරන රටක, ජාතික සමගිය ශක්තිමත් වූ රටක නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සියලු කටයුතු කර ඇති රටක මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා කරන රටක, ආර්ථික දියුණුව සමෘද්ධිය ළඟා කරගැනීමට ඔබ සියලුදෙනාම අලුත් අදහස් ඇතිව නව සිතුවිලි සමඟ අපට සහයෝග ලබාදෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

ආපහු ගිහිං පැහැදිලි කරන්න

ජනාධිපතිවරයා ස්වකීය දේශනය හමාර කර සභාවට පැමිණි විගස ඔහු වට කරගත් ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ සිටි ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වරයාගේ කරට අත දමාගෙන “මනෝ ගනේෂන් ඇමැති තුමා, මගේ කතාවේ අවුලක් නෑ නේද? සතුටුයිද දැන්?” යි අසා තිබේ.

“මේ අලුත් විදිය මොකක්ද කියලා ඔබතුමා පැහැදිලි කළේ  නෑනේ. දැන් ඉතින් ආපහු රටට ගියාම කියන්න,” යි තමන් ජනාධිපතිවරයාට කී බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව සංශෝධනය කරන්නට ඉල්ලා සිටින බව කීම මගින් රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ ජනාධිපතිවරයා එවන් කිසිවක් එක්සත් ජාතීන් හමුවේ නොකීමෙන් සිංහල සහ දෙමළ අන්තවාදීන් දෙපිරිසගේම බලාපොරොත්තු කඩකළ බව පවසන අමාත්‍යවරයා සුදානම් කරගෙන ආ ජනාධිපතිගේ කතාව වෙනස් වූ ආකාරය පිළිබඳ  “තිරය පිටුපස” කතාව  ප්‍රසිද්ධ කළ නොහැකි බව වැඩිදුරටත් කියා සිටී.

Related posts

Comments are closed.

Top