උසාවි අවසරය ලබා එල්ටීටීඊ විරුවකු සැමරේ | VIDEO

ත්‍යාගවන්ත දිලීපන් උපවාසයේ යෙදී සිටියදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග

විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන නායකයකු අනුස්මරණය කිරීමට එරෙහිව පොලිසිය ගත් උත්සාහය වැළකී යාමෙන් පසු යාපනය මහනගර සභාවේ ප්‍රධානත්වයෙන් එම සමරුව පවත්වා තිබේ.

දෙමළ අයිතිය වෙනුවෙන් උපවාසයක යෙදී දශක තුනකට වැඩි කලකට ඉහතදී මියගිය ත්‍යාගී දිලීපන් නමින් ප්‍රකට රාසයියා පාර්තීපන්ගේ සමාධිය අබියස සමරුවක් පැවැත්වීමට සහ සැරසිලි කිරීමට එරෙහිව යාපනය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම 25 අඟහරුවාදා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සමරුව පැවැත්වුනි.

ලුතිනන් කර්නල් දිලීපන්ගේ 31 වැනි ගුණානුස්මරණයට අවසර දීමෙන් යාපනයට පැමිණෙන සිංහල සංචාරකයන් බියවැදී, වාර්ගික හා ආගමික සංහිඳියාවට බාධා පැමිණෙනු ඇතැයි පොලිසිය අධිකරණයට කියා තිබුනි.

ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකු සැමරීම නීති විරෝධී බවටද පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත.

සමරුව තහනම් කිරීමට කරන අද ඉල්ලීම ඉවත ලූ යාපනය මහේස්ත්‍රාත් සින්නතුරෙයි සදීස්කරන් දිලීපන් සැමරීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳ නඩු විභාගය ඔක්තෝබර් 29 දාට කල් දමා තිබේ.

සමරු සංවිධායකයන් වෙනුවෙන් අධිකරණයට කැඳවා තිබුනු යාපනය මහනගර සභා කොමසාරිස් එස් ජයසීලන් වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ජාතික සංධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්ය.

උතුරු නැගෙනහිර පුරා සතියක් පැවති ගුණ සමරු මාලාව නිමාවට පත් වුනේ නල්ලූර් කන්දසාමි කෝවිල අබියස දිලීපන් සමාධිය අසලිනි.

හින්දු බැතිමතුන් දේව නමස්කාරය සඳහා පමණක් යොදාගන්නා සිරුරේ කොකු ගසාගෙන සිදුකරන එල්ලුම් කාවඩි පූජාවක් තරුණයන් දෙදෙනකු විසින් එදින පැවැත්වීම මින් පෙර නොවූ විරූ උපහාරයක් බව ගගන යාපනය වාර්තාකරු පවසයි.

දෙමළ ජනතාව අදත් අරගල කරන උතුරේ හමුදාකරණය හා සිංහලකරණය අත් හිටුවීම මෙන්ම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිරගතකර සිටිනවුන් නිදහස් කර ගැනීමද ඇතුළු ඉල්ලීම් පහක් වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදුනු ත්‍යාගවන්ත දිලීපන් මියගියේ1987 සැප්තැම්බර් 26 දා ය.

Related posts

Comments are closed.

Top