මාරු ලබා වැඩට නොයන වෙද-හෙද පඩි කැපේ


ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නව සේවා ස්ථාන වල සේවය සඳහා වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය වරයා තීරණය කර තිබේ.

පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් එම තීරණය සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට දැනුම් දී තිබේ.

එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මුදා නොහරින රෝහල් අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් දැනුම් දී ඇත.

තවද එම රෝහල් සදහා ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන නතර කිරීමටත් රෝහල් අධ්‍යක්ෂවරයාට උසස්වීම් ලබාදීමේ දී පරිපාලන දක්ෂතාවලට ලකුණු ලබාදීමේ දී මේ පිළීබදව අවධානය යොමු කිරිමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී මෙම උපදෙස් ලබාදී තිබේ.

පළාත් සභා රෝහල්වල වෛද්‍ය සහ හෙද හිඟය සදහා ස්ථාන මාරුවීම් ලබාදී තිබිය දි නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන නිලධාරින් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව පළාත් සභා සෞඛ්‍ය බලධාරින් එහිදී අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

Related posts

Comments are closed.

Top