“රටේ දේශපාලන සිරකරුවන් ඉන්නා බව ජනාධිපති පිළිගත යුතුයි” | VIDEO

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් ඉන්නා බව පිළිගැනීම ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සපුරාලිය යුතු අත්‍යාවශ්‍ය පියවරක් බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ කැඳවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා එකී අවධාරණය කළේ නිදහස ඉල්ලා දෙසතියක් තිස්සේ උපවාසයක් දියත් කර සිටින දෙමළ සිරකරුවන් වෙනුවෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදීය.

“දේශපාලන සිරකරුවන් ඉන්නා බව පිළිගන්න බැරි නම් දේශපාලනයක් නොවෙයි,” යනුවෙන් පියතුමෝ පවසති.

දැනට ඝන ආහාර වර්ජනයේ යෙදී සිටින අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන්ගේ තත්වය බරපතල බව පවසන පියතුමා, ඉල්ලීම් ඉටු නොවුනොත් ඉදිරියේදී දියර ආහාර හා වෛද්‍ය ප්‍රතිකාරද අත්හිටුවීමේ මාරාන්තික තීරණයට ඔවුන් එළැඹ ඇති බව කියා සිටියේය.

“ඔවුන්ගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා, කොයි වෙලේ මොනවා වෙයිද දන්නේ නෑ.”

ඔවුන් සම්බන්ධයෙන් ගතයුත්තේ දේශපාලන තීන්දුවක් විනා නීතිමය තීන්දුවක් නොවන බව මාරිමුත්තු සතිවේල් පියතුමා අවධාරණය කරයි.

ත්‍රස්ත විරෝධී නීති යොදාගෙන වසර ගණනක් තිස්සේ සිරගතකොට සිටින ඔවුන්ට යුක්තිය ඉටු කිරීම පමා වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණයත් නඩු කටයුතු කල් යැවීම නිසා බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වැඩිදුරටත් කියා සිටියේය.

ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයක් පවත්වා පා ගමනින් පැමිණි විරෝධතාකරුවෝ දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබේ.

Related posts

Comments are closed.

Top