හිදැස: මහින්ද රාජපක්ෂගේ “ඉන්දීය පන්දම”, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රට යාම හා ආණ්ඩුව අතුරුදහන් කාර්යාලයේ නිර්දේශ නොතැකීම

ජනතා විමුක්ති පෙරමුණ මගින් ව්‍යවස්ථාව සඳහා යෝජනා කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල පුවත්පත් තුළ ප්‍රධානතම ප්‍රවෘත්තියක් වුවත්, දමිළ පුවත්පත් තුළ එය සුළු පුවතක් පමණක් වී තිබිණි. මීට සමාන ලෙසින්ම ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විභාග වෙමින් පවතින නඩුවද මෙම සතියේ දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ අවම අවධානයක පසුවුණු අතර, එසේ වුවත් සිංහල පුවත්පත් තුළ එය සුවිශේෂී අවධානයක් ලබාගෙන තිබිණි. මීලඟ උතුරු පළාත් සභා මැතිවරණ පිළිබඳව දමිළ පුවත්පත් තුළ සැලකිය යුතු මට්ටමේ ආවරණයක් දක්නට ලැබුණත්, එය කේන්ද්‍රගත වී තිබිණේ වත්මන් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානය අතර ඇවිලෙන මතබේද වෙතයි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් පළාත් සභා මැතිවරණයන් සම්බන්ධ සිංහල පුවත්පත් වාර්තාකරණය ‍රැඳී තිබුණේ, පළාත් සභා මැතිවරණ ප්‍රමාද කිරීම පිළිබඳව රජයට එල්ලවන උග්‍ර විවේචනයන් හා සමගය.

මහින්ද රාජපක්ෂ වාසි තකා ඉන්දියාවට ‘පන්දම් අල්ලයි’!

මහින්ද රාජපක්ෂ මෙම සතියේ ඉන්දියාවේ නව දිල්ලි නුවරට සංචාරය කළ අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වද මුණගැසුණි. මෙම හමුවීම සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද සැලකිය යුතු අන්දමේ ප්‍රවෘත්ති හා ලිපි ප්‍රමාණයක් ජනනය කිරීමට සමත් වී තිබිණි.

නිරීක්ෂකයන් මෙම හමුවීම දැක තිබුණේ ප්‍රධානතම දේශපාලනික සිදුවීමක් ලෙසිනි. මහින්ද රාජපක්ෂ විසින් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර තිබුණේ, 2015 වසරේ තමන් ලැබූ පරාජයට හේතුව වූයේ ඉන්දීය මැදිහත්වීම් බවයි. පසුගිය වසරේ ඔහුගේ පුත්‍රයා වූ නාමල් රාජපක්ෂ හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලයට කඩා වැදුණේ මත්තල ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළ ඉන්දීය සමාගමකට බදු දීමට විරෝධතාවය ප්‍රකාශ කිරීමටයි. රාජපක්ෂවරුන්ගේ අනුග්‍රාහකත්වය යටතේ දිවයිනේ ක්‍රමයෙන් වර්ධනය වන චීන බලපෑම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ලෙසින් සැලකිලිමත් වූ බවද අසන්නට ලැබුණු කරුණකි. මෙසේ දෙපාර්ශවයේම පළුදු වී ගිය සම්බන්ධතා සහිත පසුතලයකදී, රාජපක්ෂ සහ මෝඩි අතර පැය ගණන් දීර්ඝව ඇදී ගිය හමුව පෙනී ගොස් තිබුණේ ගමන් මග නිවැරදි කරගැනීම කෙරෙහි වන ප්‍රධානතම පියවරක් ලෙසිනි.

තිනකුරල් කතුවැකිය මගින් නිරීක්ෂණය කොට තිබුණේ මෙම හමුවීම දෙපාර්ශවයටම වාසි සහගත වූ බවයි. රාජපක්ෂ වරුන්ගේ පසින් ගත් විට මීලඟ ජනාධිපතිවරණයේදී ඔහුගේ කණ්ඩායමේ පසින් දේශපාලන බලය සඳහා වන ප්‍රයත්නයේදී ඇතිවිය හැකි ඉන්දීය විරෝධය නිශ්ප්‍රභා කිරීමේ අරමුණ එයින් ඉ‍ටුවේ. තවදුරටත් වීරකේසරී ලියුම්කරුවකු විසින් නිරීක්ෂණය කළ ආකාරයට පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස්ද මෙම දූත පිරිසේ සිටියත්, මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මෙම සංචාරය අතරතුර ප්‍රධාන තැනක් ගැනීම ඔස්සේ මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනාගත නායකයා ලෙසින් තමන්ගේ ‍තෝරාගැනීම කුමක්ද යන්න පිළිබඳව පණිවුඩයක් ලබාදීම සඳහාද මෙම අවස්ථාව උපයෝගී කොට ගෙන තිබේ.

අනෙක් අතට භාෂා දෙකේම පුවත්පත් තුළ වූ ඇතැම් කොටස් මගින්, මහින්ද රාජපක්ෂව ඉන්දියාවෙන් පිළිගෙන ගෞරව සත්කාර දැක්වීම අර්ථ නිරූපණය කොට තිබුණේ ඔහු නැවත බලයට පැමිණීමේ හැකියාවක් ඉන්දියාව විසින් හඳුනාගැනීමක් ලෙසිනි. ඔවුන් සඳහන් කොට සිටියේ (2015 දී ඉන්දියාව පුළුල් වශයෙන් සහයෝගය දුන් බවට සැලකෙන) වර්තමාන සමගි රජය ශීඝ්‍රයෙන් ජනප්‍රියතාවයෙන් හීන වෙමින් පවතින බවට වන සැලකිලිමත් වීම් මැද, ඉන්දියාව තමන්ගේ අනාගත විකල්ප විවෘතව තබා ගැනීමේ වුවමනාවෙන් කටයුතු කරනවා විය හැකි බවයි.

යුක්තියට බාධා කිරිම ගැන ජනපති සිරිසේනට දමිළ භාෂා පුවත්පත් මගින් විවේචන

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 2008 වසරේ තරුණයන් 11 දෙනකු පැහැර ගැනීම හා ඝාතනය පිළිබඳ නඩුව සඳහා එයට ඔහුගේ වන සම්බන්ධයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට පැය කිහිපයක් තබා රටින් පිටව ගොස් ඇත.

දෙමළ ජාතික සන්ධානය මගින් චෝදනා එල්ල කරන්නේ ඔහුට ජනපතිගේ අනුදැනුමකින් තොරව එසේ කිරීමට හැකියාවක් නොතිබූ බවයි. එම දෘෂ්ටිය සඳහා දමිළ භාෂා පුවත්පත් මගින් පුළුල් ලෙසින් එකඟත්වය පළ කොට තිබිණි. තවදුරටත් දමිළ පුවත්පත් මගින් වාර්තා කොට තිබූ ආකාරයට, විජේගුණරත්නගේ නික්ම යෑමෙන් දින කිහිපයකට පසුව පැවැත්වුණු හදිසි කැබිනට් ‍රැස්වීමකදී ජනපති සිරිසේන විසින්, හමුදා නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිසියට විවේචනයන් එල්ල කොට තිබිණි. තවදුරටත් මෙම සතියේදී මාධ්‍යවේදීන් ඇමතීමේදී ජනපති විසින් ප්‍රතිඥා දෙන්නට යෙදුණේ, යුද අපරාධ චෝදනා සඳහා හමුදා නිලධාරීන් ඉලක්ක කරගැනීම වැළැක්වීම පිණිස තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවලිය පිළිබඳව නැවත කතිකා කරගන්නා බවටයි. වීරකේසරී ලිපියක් මගින් තවදුරටත් පෙන්වා දී තිබුණේ, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් මෑතකදී ජනපතිවරයාට භාර දුන් අතුරු වාර්තාවද ඔහු විසින් විශාල වශයෙන් නොසලකා හැර ඇති බවයි.

මෙසේ දමිළ භාෂා දේශපාලන විශ්ලේෂකයන් විසින් ජනපති සිරිසේන චිත්‍රණය කරන්නට යෙදුනේ, තමන් බලයට ‍රැගෙන ඒමට මුල්වූ දේශපාලන පර්යන්තය සම්පූර්ණයෙන්ම අත්හැර දැමූවකු ලෙසිනි. දමිළ භාෂා පුවත්පත් තුළ වූ ඇතැම් කොටස් මගින් තර්ක නඟා තිබුණේ, දේශීය අධිකරණ ව්‍යුහයක් තුළ යුක්තිය සෙවීම සැමවිටම ලබාගැනීමට නොහැකි යමක් ලෙසින් පවතිනු ඇති බවට වන දමිළ විශ්වාසය ජනපතිගේ ක්‍රියාවන් මගින් ස්ථිර කොට ඇති බවටයි.

මේ අතරවාරයේදී අද්මිරාල් විජේගුණරත්න හිටිහැටියේ නිල මට්ටමින් රටින් පිටව යෑම සම්බන්ධ පුවත් සිංහල භාෂා පුවත්පත් මගින්ද විශාල වශයෙන් වාර්තා කොට තිබිණි. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ජනපතිවරයා වෙත එල්ල කෙරෙනා දැඩි විවේචන සිංහල පුවත් වාර්තාකරණය තුළ විශාල වශයෙන් අතුරුදන්ව තිබිණි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි 

Related posts

Comments are closed.

Top