යුද්ධයේ අන්තිම දෙසතියේ වගකීම ජනාධිපති බාරගනී | VIDEO

යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ මහා පරිමාණයෙන් සිදු කෙරුනු බවට නැගී ඇති චෝදනා පිළිබඳ ස්වාධීන විමර්ශනයක් කළ යුතු කාල වකවානුවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම දේශීය කොමිසම් මගින්ද පිළිගෙන තිබෙන යුද්ධයේ අවසාන භාගයේ වගකීම ශ්‍රී ලංකාවේ  ජනාධිපති වරයා විසින් බාරගෙන තිබේ.

එල්ටීටීඊයට විරුද්ධව ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා විසින් දියත් කරන ලද යුද්ධයේ අවසන් දෙසතියේ එවක ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම් සහ හමුදාපති යන සිව් දෙනාම රටින් බැහැරව සිටි අවස්ථාවේ වැඩ බැලූ ආරක්ෂක අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේ තමන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නිව්යෝර්ක් නුවරදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතමිනි.

“යුද්ධයේ අවසාන සති දෙක පිළිබඳ සියලු දෙනාට වඩා කරුණු දන්න කෙනා මම යි,” යනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය.

“අවසාන සති දෙකේ ලැබුනු වාර්තාව තමයි, අවසන් සටන පසු බහින්නේ නෑ එල්ටීටීඊ එක දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහෙ හරි කැලෑ පැත්තක ඉඳලා කොළඹ සම්පුර්ණ විනාශ කරනවා බෝම්බ දාලා කියලා රජයට තොරතුරු ලැබුනේ. ඒ නිසා තමයි ඔක්කොම ගියෙ රටින්. ඒක තමයි ඇත්ත කතාව.”

“මම හිටියා” ගෝඨා

එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා තමන් යුද්ධාවසානයේ ශ්‍රී ලංකාවේ සිටි බව පවසයි.

එල්ටීටීඊ ය කොළඹට බෝම්බ දැමීමේ අවදානම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරදී ප්‍රකාශ කළ දාට පසුදිනම ලන්ඩනයේ බීබීසීය කළ විමසීමකට ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දී ඇත්තේ “ජනාධිපතිතුමා මම දන්නේ නැති තොරතුරක් ඔය කිවුවේ මම හිතන්නේ ලෝකෙම දැනගෙන හිටියේ නැති දෙයක්” යනුවෙනි.

එසේවුවත්, යුද අපරාධ සම්බන්ධයෙන් නැගෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමේ වගකීම හිටපු ආරක්ෂක ලේකම් වරයා විසින් පවරා ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටය.

එල්ටීටීඊ සංවිධානය අවසන් වතාවට කොළඹට මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ 2009 පෙබරවාරියේය.

යුද සමයේ වැඩ බලන ආරක්ෂක ඇමැති වශයෙන් රාජකාරි කළ බව පිළිගන්නා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දහස් සංඛ්‍යාත දෙමළ වැසියන්ගේ ඝාතන සම්බන්ධ වගකීමෙන් බැඳෙන බව පාරජාතික දෙමළ ඊළම් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීන්ට සහ රාජ්‍ය නායකයන්ට පවසා තිබුනි..

ජනාධිපතිවරයා විසින් ඔවුන් හඳුන්වන ලද්දේ “උන්මාද තිබෙන අන්තවාදීන්” ලෙසිනි.

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ තුන් වැනි සැසි වාරය ඇමතූ අවස්ථාවේ  “මගේ ආරක්ෂක හමුදා” ලෙසින් ගෞරවාදරය පුදකළ ආකාරයෙන්ම එක්සත් ජනපද වාසී ලාංකිකයන් හමුවේද  ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් ලෙසින් ජනාධිපතිවරයා ගේ ප්‍රශංසාවට ලක් විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී තුන් අවුරුද්දකට ඉහතදී ගිවිසගත් පරිදි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නේදැයි පැහැදිලි නොකළ ජනාධිපති වරයා, යුද භූමියෙන් පිටත දී කරන ලද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු හමුදා නිලධාරීන්ට දඬුවම් දීම අත්‍යාවශ්‍ය බව  අවධාරණය කළේය.

යහපාලනයේ පොරොන්දු ඉටුකිරීම

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන ගොස් වධදීම, රගර් ශුර වසීම් තාජුඩීන් ඝාතනය, සිරස මාධ්‍ය ආයතනය ගිනි තැබීම සහ මාධ්‍යවේදීන්ට රට හැර පලා යාමට සිදුවීම වැනි මානව හිමිකම් උල්ලංඝනය කළ ආණ්ඩුවක් වෙනස් කිරීම සඳහා තුන් අවුරුද්දකට ඉහතදී තමන් බලයට පත් කරන ලද බව ජනාධිපති වරයා  සිහිපත් කළේය.

“සමහර තැන්වල සාමාන්‍ය පුරවැසියෝ අතරේ ඉන්න අය වග උත්තරකාරයෝ වෙලා තිබෙනවා. ඇතැම් පරීක්ෂණවල දී ත‍්‍රිවිධ හමුදාවේ සේවය කළ අය වගඋත්තරකාරයෝ වෙලා තිබෙනවා. රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී ඒ සෑම කෙනෙක්ම නීතියට යටත් වන නිසා යුද්ධයෙන් බාහිරව එවැනි ක‍්‍රියාවලට සම්බන්ධ වුණා නම් ඒ කාටත් නීතිය ක‍්‍රියාත්මක කිරීම වීරෝධාර සැබෑ රණවිරුවන්ට කරන විශිෂ්ට ගෞරවයක්.”

ශ්‍රී ලංකාවේ යුදා හමුදා සොල්දාදුවන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවයට යා හැකි වන්නේ එම පරීක්ෂණ සිදු කිරීම නිසා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය.

“මේ කරුණු නිවැරදි කරගෙන වැඩ කරගෙන යන කොට අපිට ලැබෙන ආර්ථික ආධාර වගේම ජාත්‍යන්තර සහයෝගිතාවය ශක්තිමත් වුණා.”

එක්සත් ජාතීන් සමග එකඟ වූ පරිදි සාම සාධනයට යවනු ලබන යුද භටයන් නිසියාකාර පූර්ව සෝදිසියකට යටත් නොකිරීම නිසා මේ අවුරුද්දේ පෙබරවාරියේ සිට ශ්‍රී ලංකාවේ සෙබළුන් රට යැවීමට බරපතල ලෙස බාධා පැමිණ තිබේ.

ලිංගික වධහිංසා

එල්ටීටීඊ සාමාජිකයන්ට හමුදා නිලධාරිනියන් අත් අඩංගුවේ දී ලිංගික වධහිංසා කළ බවට මෑතදී එලි දැක්වුනු වාර්තාවක එන තොරතුරු ජනාධිපති වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

යුද්ධය අවසන් වූ 2009 සිට මේ දක්වා කාලය තුල අත් අඩංගුවේ දී වධහිංසාවට ගොදුරු වූ දෙමළ පිරිමින් 121 ක්  විසින් හෙළිකරන ලද බියජනක තොරතුරු ආශ්‍රයෙන් යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් ජිනීවා හිදී එළිදක්වන ලද එම වාර්තාව ශ්‍රී ලංකාවේ දී පිරිමින්ට කරන ලද ලිංගික වධබන්ධන ඇතුලත් මුල්ම සමීක්ෂණය ලෙස සැලකේ.

යුද්ධයෙන් දස අවුරුද්දකට පසු අලුතින් සොයාගන්නා ලද එම තොරතුරු නිසා දකුණේ කැළඹීමක් ඇති විය  හැකි බවට ජනාධිපතිවරයා බිය පල කළේය.

“උතුරේ හා දකුණේ ඉන්න අන්තවාදියෝ ඒ කරන පටලැවීම් මාධ්‍ය තුල ගලා යනවා,” යි ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සත්‍යය හෙළිවීම හෙමින් සිදුවන්නක් බව ද කියා සිටියේය.

‘අසත්‍යය බොහොම වේගයෙන් ගලා යනවා. සත්‍යය බොහොම නිහඬයි. සත්‍යය බොහොම හෙමින් තමයි ගමන් කරන්නේ.”

Related posts

Comments are closed.

Top