සත්‍යය තහවුරු කර නොගෙන ඕපාදූප ලියන බවට මාධ්‍යවේදීන්ට දොස් | VIDEO

රජයේ බලධාරීන්ගෙන් තොරතුරු දැනගැනීමට නීතියෙන් මග පාදා තිබියදී අසත්‍ය තොරතුරු ලියන බවට මාධ්‍යවේදීන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ලැබුවේ 2016 අගෝස්තු මස 4 දාය.

ඒ අනුව මහජනතාව ඉල්ලා සිටින තොරතුරු දින 14ක් තුලදී ලබා දීමට බලධාරීහු බැඳී සිටිති.

එසේ තිබියදීත් අහන්නට ලැබෙන දේ සත්‍යදැයි තහවුරු කර නොගෙන ඕපාදූප ලියන බවට අමාත්‍යවරයා කණස්සල්ල පළකළේ  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි.

“මම කණගාටු වෙනවා මේ තොරතුරු දැනගැනීමේ පනත තිබියදීත් අද බොහෝ ජනමාධ්‍යවේදීන් තවමත් අර ඕපාදූප ලියලා තමන්ට අහන්නට ලැඛෙන දේ ඇත්තද නැද්ද කියලා තොරතුරු දැනගැනීමේ පනතෙන් හෝ දැනගන්නෙ නැතුව ලේසියට ඇහෙන දේ අර “ෆේක් නිව්ස්” එකක් විදියට ඉදිරිපත් කරනවා,” යි මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාසල් දරුවන් “කොන්ද නමාගෙන, පෙරලි පෙරලී” දේශපාලකයන් ට වැඳීම සම්බන්ධයෙන් නොසතුට පලකළ අමාත්‍ය මංගල සමරවීර “කොන්ද කෙළින් තියාගෙන ඉන්න පුළුවන් දරුවන් හා වැඩිහිටියන් ඉන්න රටක් නිර්මාණය කිරීමට,” පෙරට එන ලෙස ආරාධනය කර සිටියේය.

Related posts

Comments are closed.

Top