LTTE මහවිරු සමරු නිසා රට බෙදෙන්නේ නෑ: හමුදාපති | VIDEO

උතුරේ ජනතාව මහවිරු සමරු පවත්වා යුද්ධයෙන් මියගිය විමුක්ති කොටි සාමාජිකයන් අනුස්මරණය කිරීම මගින් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි දකුණේ කරනු ලබන බිය ගැන්වීම් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියා විසින් බැහැර කරන ලදී.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් යුද හමුදාව සැලකිලිමත්ව ඉන්නා බව හමුදාපතිවරයා ප්‍රකාශ කළේ මේ මස 10 වැනිදාට ශ්‍රී ලංකා යුද හමුදාවට 69 අවුරුද්දක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අබියස පැවති හමුදා ධජ සඳහා සෙත් පැතීමේ උත්සවයක් අවසානයේය.

“සිංහල, බෞද්ධ, දෙමළ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ඕනේ කෙනෙක්ට පොදු දෙයක් තමයි මිනිස්සු මියයාම. ඉතින් මියනවුන් සිහිපත් කිරීම ගැන අපේ ගැටළුවක් නෑ,” යි මහවිරු සමරු පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමින් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

“එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සිදු කරනවා කියලා පැවැත්වෙනවානම්, යම්කිසි මතයක් රට තුල ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම සැලකිලිමත් විය යුතුයි. ඒක හැබැයි ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි. එක දිනයකට පැය කීපයකට එවැනි සංවිධානයක් කරපු උත්සවයක් පැවැත්වීමෙන් මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙලා මේ රට නැවත බෙදෙන්නේ නම් නැහැ.”

යුද්ධයේ අවසන් අදියරේ වගකීම භාරගනිමින් ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට යුද හමුදාපති පිළිතුරු දුන්නේ තමන් ඒ සමයේ “කනිෂ්ට නිලධාරියකු” වූ නිසා ඒ සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවයි.
කෙසේ වෙතත්, ඒ යුද්ධය “පෞද්ගලිකත්වයකින් තොරව” ජය ගත්තක් බව ඔහුගේ මතය විය.

Related posts

Comments are closed.

Top