කෝප්‍පරාළ සිරා

සක්‍ර දේවේන්ද්‍රයා පඬුපුල් ආසනේ උඩ පැළපදියම් වෙලා හැමදාම වගේ මටම කියන සේකරගෙ යාදින්න කිය කිය ටැබ්බෙකට තල තල උන්නෙ.

දොන්ත දොමිකිට කොන්ත නෝනා

නින්ද නැති මට හීන පේනා…..

ඩන්ඩ ඩක ඩක ඩන්ඩ ඩාඩා

ඩන්ඩ ඩක ඩක ඩන්ඩ ඩාඩා……………

මං උන්නේ මගේ අත්බනුවෙ ‘තෝ බටේ’ දාගෙන.

‘’මොකද්ද කොන්ත නෝනෙ ඔය යූ ටියුබ් එක දාගෙන ඉළ ඇදෙන්න හිනාවේවී බලන්නෙ? ජනාධිපතිතුමාගෙ කතාවක්වද්ද?’’

‘’නෑ දෙයියො, මං මේ දෙයියංගෙ රටේ බලනවා. ටිලිං ටිලිං ගාලා පාදසළං සීනු සද්දෙ ආවත්, අසෝකමාලා ගස්සගෙන යද්දි තාම ලස්සනයි,” මං කිව්වෙ ඒකිගෙ නැට්ටුක්කාර ගමන දිහා බලාගෙනමයි.  මටත් ඉතින් මේ සක් බවනෙ උන්නාන්සෙ වටේ කැරකි කැරකි ඉන්න චෑන්ස් පාරක් වැදුනෙ මොකක් හින්දද? ආයෙ කියන්න දෙයක් නෑනෙ. ගස්සන ලස්සන අංසෙම තමා.

මෙන්න බොලේ එක පාරටම සක්‍ර දේවේන්ද්‍රයා හූ තියන්න පටන් ගත්තා. උන්නාන්සෙ හූ තියාගෙනම පඬුපුල් ආසනෙන් පැනලා ‘පිදුරංගල දනෝ’ කියලා කෑ ගහගෙන, දුං දාගෙන  දුවන්න තියාගත්තා. දුවල දුවල සක්‍ර බවනෙ පිළිකන්නෙ කුඹුක් ගහක් යට පනවලා තියෙන ටබ්බෙකට පැනගත්තෙ ටැබ්බෙක අහසට අතාරිමින්.   ටැබ්බෙක පියාඹගෙන ඇවිත් මගේ අත්බනුවෙ හැප්පිලා ‘තෝ බටේ’ සී සී කඩ වෙලා එකපාරට ‘බුකියට’ මාරුවුණා.  ඉතින් ‘තෝ බටේ’ දැමිලි බොරු. මං ඉතින් ‘ඇරපං කරාමේ මේක අපේ පයිප්පේ’ කියාගෙන, චැට් පාරක් දාන්න එකෙක් හොය හොය බුකිය වටේ කැරකෙන්න ගත්තෙ, ආකිමිඩීස් වගේ ටබ්බෙක ඇතුළෙ ජබුං ගහන සක්‍ර දෙයියො දිහා හොරෙං සැරේ බල බල.

මෙන්න බොලේ බුකිය පොලෝසියෙන් වටලලා. සීයයිඩීකාරයෝ අයියාර්සීකාරයො වටේ පන්නනවා වගේ ආයුද ලෙළෝගෙන. ආයුද කිව්වට පිස්තෝල කාරිය නෙමේ. බැටන් පොලුත් නෙමේ. මේ මොනාද? අප්පද බොල, කාච කාච. ලොකු ලොකු කාචබාච……….හහ් හහ් හූ…………….දැනුයි තේරුණේ….මුං මේ හොයන්නෙ සීගිරිය දිහා බලාගෙන පිදුරංගල පෙන්නපු ගැටව් සැට් එක. අර කාචබාච අල්ලන්නෙ මූණත්තහඩුවලට නෙමෙයි ගල් තඩි උඩින් තියෙන පිදුරංගලට. මං බුකිය ඇතුළෙම පිදුරංගල කියල සෑච් එකක් ගැහුවා. උඩින්ම ආවේ කඩු පොලු අරන් බල්ටි ගහන යක්කු සැට් එකක්. පිදුරංගල මහසොහොන් බලකාය. බල්ටිකාර සැට් එකක්. මහසෝනා කොහොමත්  පිදුරංගල එළියෙ දාන් නෙ ඉන්නෙ. බල්ටිකාරයන්ට නියමෙට ගැළපෙන නම. එකත් එකටම සීගිරිය ඉස්සරහ පිදුරංගල පෙන්නල තියෙන්නෙ මුං සැට් එක වෙන්ඩ ඕනි.

‘’කොන්ත නෝනෙ, මොකෑ බං වෙලා තියෙන්නෙ එකසිය ගාණට පිරිවරාගෙන සමුළුවට ගිය ලොක්කට?’’ සක්‍ර දෙයියො ආවෙ අර නළපාන ජාතකේ දිය රකුසා වගේ කොන්ඩෙ වනාගෙන පිදුරංගල අතගගා.

‘’ඇයි දෙයියනේ, ඒක බලල නෙමේද ඔය පිදුරංගල රත් වෙන්න තියාගත්තෙ?’’ මං ඇහුවා.

‘’නෑ යෝදියෙ, මං ඒක බලන්න හිතුව විතරයි, ඕං පිදුරංගල ඇවිලෙන්ඩ තියාගත්තා. ඕං ඔය ගූගලේ පොඩ්ඩක් කරකෝලා බලහං යෝදියෙ මොකක් වෙලා ද කියලා. හිමිජ්ජා වගේ හිටියට, එකත් එකටම දීලා ඇදලා ඇති ටොන් දහයෙ දොළහෙ කන්ටේනර් ටෝක් එකක්,’’ එහෙම කියපු දේවේන්ද්‍රයා පඬුපුල් ආසනේ පාමුළ එරමිණිය ගොතා ගත්තා. ‘’ලොක්කා අර කලින් කියපු යෝජනාවලිය ඉදිරිපත් කරලවද්ද?’’

‘’’මොන?’’ මං ඇහුවා.

‘’ඇයි යෝදියෙ, රටේ ස්වාධීනත්වෙ, ජාතික ආරක්ෂාව සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම වගේ පිදුරංගලිනුත් හිනා යන කාරණා ඇදල කරලා දාලා හදපු යෝජනා වලිය’’

ගූගලේ කැරකුනේ අපේ සිරා ජනාධිපති සිරා නිව්යෝර්ක් පුරවරේ ‘උන්ගා’ සමුළුවෙ දේසනේ තියන වීඩියෝ පොජ්ජ ළඟ. අම්මප මට පෙනුනෙම ඒ උත්තමයා පිදුරංගලෙන් හිටං ඉන්නවා වගේ.

‘’ආ මේ තියෙන්නෙ බාන්ඩෙ’’ මම කිව්වෙ වීඩියෝ පොජ්ජ පෙන්නමින්.

‘’මේ තියෙන්නෙ බාන්ඩෙ නෙමේ යෝදියෙ, මේ ඉන්නෙ බානඩෙ. අන්න එහෙම කියහං,’’  සක්‍ර දේවෝතතමයගෙ පිදුරංගලින් දුම් දමින් තිබුනෙ.

‘’දැන් යුද්ධය ඉවරවෙලා අවුරුදු දහයක් වෙනවා. දැන්වත් පිදුරංගල දිහා අලුත් ඇහැකින් බලන්න යැයි මම ලෝක ප්‍රජාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.’’ (සභාවේ සිනා)

‘’මෙන්න අපේ සිරා ටෝක් දෙනවා’’ මං කිව්වා.

‘’මේකා මොකක් කිව්වත්, පිදුරංගල ගැන ඔටෝ  කියවෙනවා.’’ සක්‍ර දෙයියන්ට හිනා. ‘’දැන් මැක්කා පිදුරංගල වෙනවද, පිදුරංගල මැක්කා වෙනවද කියලා හිතා ගන්නවත් බෑ. ‘’

‘’මේ අහගන්න දෙයියෝ.’’

සිරා ම ටෝක ආවෙ ඉන් පස්සෙ. ‘’පිදුරංගල අපේ. මං ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නෙ, පිදුරංගල පිළිබඳ අපිට තියෙන ප්‍රශ්න විසඳගන්න අපිට ඉඩ දෙන්න කියලා.’’

‘’ඇහුණා නේද කොන්ත නෝනෙ උන්දැගෙ ටෝකෙ දරුණු කම. දැන් කොන්ත නෝනෙ ඉතිහාසගත වුණේ කොහොමද? මගේ පිදුරංගල මගේ කැමැත්ත කියලා උසාවියට කියල. ඒකත් එක්ක ගත්තම මේක මොන තරම් දරුණුද?’’

‘’දරුණු? මේ තරම් අහිංසක නායකයෙක් මුළු සමුළුවටම ඇවිත් නෑ. අර ට්‍රම්පට් ඩොනා බලන්නකො. දරුණු මූණ. ඒකට මේක. සිරා ම සිරා අහිංසක මූණ.’’

‘’අහිංසක තමයි නෝනෙ අංගුලිමාල උනේ. උඹත් ඉතින් බබා වෙන්න හදනවනෙ. යාප්පු ටෝන් එකක් තිබ්බට ඔය කරන්නෙ ගේම ඉල්ලිල්ල. කොන්ත නෝනෙ උසාවියෙ කිව්ව වගේ නෙමේ මේ කියන්නෙ. බොලා එන්න එපා අපේ පිදුරංගල ඇගිලි ගහන්න; බොලා බොලෑ පිදුරංගල පලා ගනිව්, අපි අපේ පිදුරංගල පලා ගන්නම් කියලනෙ ඔය කියන්නෙ.’’ සක්‍ර දෙයියො එහෙම කිව්වෙ මූඩ් ගහලා. පිදුරංගල අතගගා.

“මෙන්න දෙයියො අපේ ලොක්කා ටෝක් එකෙන් පස්සෙ කෙලින්ම මනෝ ගනේ ගාවට යනව’’ මං කිව්වා.

‘’අහල බලහං නෝනෙ උන්දා මනෝ ගනේට දෙන ටෝක මොකද්ද කියල්ල’’

ලොක්කා කෙලින්ම ගිහින් මනෝ ගනයගෙ පිදුරංගල කෙනිත්තුවා. ‘’කොහොමද ටෝක? ඔබට සතුටුයි ද දැන්?’’

‘’අම්මද බොල? මේ සිරා ද නැත්තං මරා ද. එහෙමත් නැත්තං මරු සිරා ද?’’ සක්‍ර දෙයියොත් අන්දොස්.

‘’අන්න මනෝ ගනයා ඇඹරෙනවා පිදුරංගල විකා ගන්න වගේ.’’ මං කිව්වෙ මට පේන්න තිබුණ දේ. මේ අල්ල පනල්ලෙ කවුද බොලේ අර පුටුව පෙරලගෙනම නැගිට්ටෙ?

මං හිතුපු දේ සක්‍ර දෙයියන්ට ඇහුණා. ‘’ඒ අර දරුණු ගනේ අපරාද කරා කියලා මංගල සැසියෙදිම කිව්ව ජිනීවා මාහික කවුන්සිලේ අලුත් කොමී නෙ.’’

ඔව් නේන්නං. අලුත් කොමී මිසෙල් බැසලේ නෝනෙ සිරාගේ සිරා කතාවෙන් කිපිලද මන්ද? අර පිදුරංගල ලෙළෝ ලෙළෝ, නා දලු දෙක මතුර මතුර සබා ගැබෙන් යන හැටි. සිරා හිටං බලාගෙන ඉද්දිම.

‘’මොකද්ද දෙයියො අර මිසෙල් නෝනෙ මතුර මතුර ගියේ?’’ අපිට ඇහෙන්නැති ඕනි දෙයක් දෙයියන්ට ඇහෙනවා’

‘’උන්දෑ කියනවා මුන්ට පිස්සුද නැත්තං අපිට පිස්සුද? කියලා’’ දෙයියන්ටත් හිනා. සක්‍ර දෙයියො ටැබා අතට අරන් ආයෙ ගූගලේ කැරකෙව්වා. මෙන්න සිරා එක්සත් ජනපදේ පැළපදියං වෙච්ච සිංහලයො පිරිවරාගෙන දරුණු ටෝක් දෙනවා.

‘’ඔය තුන්කට්ටුවම යුද්දෙ අන්තිම සති දෙකේ කොටි කොළඹට ගහයි කියලා  පිදුරංගල රත්කරගෙන පැනලා ගියා. මං තමයි පිදුරංගල මූණෙ තියාගෙන තීන්දු තීරණ ගත්තෙ.’’

‘’අම්මද බොල දෙයියො, සිරා පොරක්නෙ සිරා. උන්දත් පිදුරංගල බරට සියඹලා ගෙනැල්ලා එහෙනම්,’’ මං කිව්වා. දැන් කාගෙ කාගෙත් පිදුරංගල මූට්ටු වේගෙන එන්නෙ.

‘’ඕක නෙමේ නෝනේ, ඩිංගිත්තක් මේ කතාවට කන දාහං.’’ දෙයියො ඒ පාර පෙන්නුවෙ පිදුරංගල විකාගෙන ඉන්න ෆොනීගෙ දරුණු මූණ. ‘’මං කැමති නෑ පිදුරංගලින් කතා කරන ලොක්කන්ට. ඕවා නිකං පිදුරංගලින් පිටවෙන වාත කතා. අන්තිම සති දෙකේ ඉතුරුවෙලා තිබ්බ දේ කෝප්‍රල් කෙනෙක්ට වුණත් කරන්න පුළුවන්.”

අනාථයි. මෙන්න පීල් මාර්සෙලයා වැඩ බලාපු සේනාධිනායකයා කෝප්රාල් කෙනෙක්ගෙ ගාණට දාලා. මරු මරු.  නියම නම. කෝප්පරාළ සිරා. ‘’තරහවෙලා එකේකාට පිදුරංගල පෙන්න පෙන්න උන්නු ඈයො දැන් එකතු වෙලා අපිට පිදුරංගල පෙන්නන්න වගේ ලේස්තිය.’’ මං දෙයියන්ට කිව්වා.

‘’උංගෙ පිදුරංගල, උංගෙ කැමැත්ත.’’  කිය කිය පිදුරංගල අතගගා ඔන්න දෙයියො ආයෙ පඬුපුලේට කිට්ටු කළා. ‘’මුංගෙ මේ විකාර හින්දා, සමාජෙටම පිදුරංගල පෙන්නපු ගැටව් ටිකට මොකක් වුණාද කියලා බලාගන්න බැරිවුණා. බලමු ඉතින් උන්ට විපත්තියක්වත් වෙලා ද කියලා’’ දෙයියො දුං දාන දේවාසනේ ඉදගත්තා.

Related posts

Comments are closed.

Top