“සිරකළ මාධ්‍යවේදියා නිදහස් කරනු!” කොළඹින් බංග්ලාදේශයට පෙත්සමක් | VIDEO

ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දැක්වීම නිසා දෙමාසයකට ආසන්න කාලයක් තිස්සේ හිරගත කොට සිටින ආචාර්ය ෂහිදුල් අලාම් නිදහස් කරන ලෙස බලකරන විරෝධතාවක යෙදුනු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රකාමීන් පිරිසක් සිය ඉල්ලීම රැගත් සන්දේශයක් කොළඹ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයට භාරදුන්හ.

“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවකාශය” විසින් සංවිධානය කරන ලද විරෝධතාවයට එක්වෙමින් විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් කියා සිටියේ මාර්ග නීති නිසියාකාර ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ශිෂ්‍යයන් දියත් කළ උද්ඝෝෂණයකට අමානුෂික ලෙස පහර දීම ට එරෙහිව අදහස් පල කිරීම ජගත් කීර්තිධර මාධ්‍යවේදියා හිරගත කිරීම සඳහා හේතුව කරගෙන ඇති බවයි.

ෂහිදුල් අලාම් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින සංදේශය බංග්ලාදේශ දූත මණ්ඩල නියෝජිතයාට භාරදෙමින් නිදහස් මාධ්‍යවේදී නාලක ගුණවර්ධන කියා සිටියේ සිරගත මාධ්‍යවේදියා තමන් දන්නා පමණින් කිසිදු නීතියක් උල්ලංඝනය කර නැති බවයි.

එරට රජය නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු අත පෙවීමක් නොකරන බව සංදේශය භාරගත් මහකොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන අංශයේ මොහොමඩ් අලි මුස්සමාන් කියා සිටියේය.

ෂහිදුල් අලාම්ගේ දිගුකාලීන සගයකු වන නාලක ගුණවර්ධන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සටහනක් තබමින් බංග්ලාදේශ නියෝජිතයාගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වය පිළිබඳව සැක පල කර තිබුනි.

සිරගත බංග්ලාදේශ මාධ්‍යවේදියාගේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මැදිහත් වනු ඇති බවට මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු අපේක්ෂාව පළ කළේය.

Related posts

Comments are closed.

Top