අගමැතිට විරෝධය පෑ දෙමළ සිව්දෙනා ගැන දිගටම පොලිස් පරීක්ෂණ

ශ්‍රී ලංකාවේ අගමැති වරයා සහභාගී වූ ඔක්ස්ෆර්ඩ් නුවර සාකච්ඡා සභාවක් ඉදිරිපිට වීදියේ විරෝධතා පවත්වන විට අත් අඩංගුවට ගෙන නිදහස් කොට යවන ලද දෙමළ ජාතිකයන් හතර දෙනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ත්‍රස්ත විරෝධී අණපනත් යටතේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

ත්‍රස්තවාදය මැඩලීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලද සොක්කලිංගම් යෝගලිංගම්, ශාක්‍ය රාජ් ප්‍රනාන්දු, ධනුෂන් මහාදේවන් සහ සෙල්වගනේෂන් සිවසුදන් පසු දා  මුදා හැර තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් දිගටම විමර්ශන සිදු කෙරෙන බව පොලිසිය පවසයි.

තහනම් කරන ලද සංවිධානයක සාමාජිකයන් වීම සහ එවැනි සංවිධානයක මෙවලමක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත් අඩංගුවට ගන්නා ලද බව තේම්ස් නිම්න පොලිස් ප්‍රකාශිකා ලුවීසා මාහර් ගගන හා කියා සිටියාය.

ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමය විසින් සංවිධානය කරන ලද “ඉන්දු සාගර කලාපයේ භූ දේශපාලනය” සාකච්ඡා සභාවේ ආරාධිතයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වන අවස්ථාවේ දියත් කළ විරෝධතාවයේදී ප්‍රදර්ශනය කරන ලද දෙමළ ජාතික ධජය, බ්‍රිතාන්‍යයේ තහනම් කොට ඇති දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ ධජය ලෙස වරදවා වටහා ගැනීම නිසා තමන් අත් අඩංගුවට ගන්නා ලද බව නිදහස් කළ සිව් දෙනා පවසති.

මතබේදයට තුඩු දී තිබෙන කොඩි හතරක්ද පොලිසිය විසින් රඳවා තබාගෙන ඇත.

අත් අඩංගුවේ සිටියදී පොලිසිය සිව් දෙනාගේ නිවෙස්ද පරීක්ෂා කර තිබෙන බව සොක්කලිංගම් යෝගලිංගම් වැඩි දුරටත් ගගන හා කියා සිටියේය.

Related posts

Comments are closed.

Top