ICC දූෂණ චෝදනා: අදහස් දැක්වීමට නොහැකි වීම ගැන සනත් කනගාටු වෙයි

ජගත් ක්‍රිකට් බලධාරීන් විසින් නගා ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නොහැකිවීම ගැන හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කනගාටුව පල කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් මණ්ඩලයේ (ICC) දූෂණ විරෝධී ආචාර ධර්ම දෙකක් උල්ලංඝනය කළ බවට චෝදනා නගමින් දුෂණ විරෝධී ඒකකයේ ප්‍රධාන නීතිඥ ඉයේන් හිග්න්ස්ගේ අත්සනින් ඔක්තෝබර් 15 දා එවන ලද ලිපිය තමන් අත පත් බව පවසන සනත් ජයසූරිය, ජනමාධ්‍ය වෙත යවා ඇති එම ලිපියේ අඩංගු කරුණු දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන්ගේ අනුමාන වලට හේතුවී ඇතැයි කියා සිටී.

“ඒ පිළිබඳව මාගේ ප්‍රතිචාරය දින 14ක් ඇතුළත ඉදිරිපත් කිරීමට ඇති හෙයින් ඒ පිළිබඳව කිසිදු අදහස් දැක්වීමක් කළ හැකි තත්වයක නොසිටීම පිළිබඳව කනගාටු වෙමි,” යි සනත් ජයසූරිය ප්‍රවේසම් සහගතව වචන තෝරා බේරා  ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

“ඉහත චෝදනා සම්බන්ධයෙන් කිසියම් ප්‍රකාශයක් කිරීමෙන් ICC නීති උල්ලංඝනයක්  සිදුවිය හැකි හෙයින් එසේ  නොකරන ලෙසට මාහට තදින් නීති උපදෙස් ලැබී තිබේ. මේ වන විට මාගේ නීතිඥ කණ්ඩායම මාගේ ප්‍රතිචාරය සකස් කරමින් සිටින අතර එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී තවත් නිවේදනයක් නිකුත් කරමි.”

ICC දූෂණ විරෝධී ඒකකය විසින් පවත්වනු ලැබූ විමර්ශනයකට සහාය දීමට “අසමත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම” මෙන්ම, ඊට අදාළ “ලියකියැවිලි හෝ වෙනත් තොරතුරු වසං කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම මගින් පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම,” සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ බලධාරීන් සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණයකට අවශ්‍ය කරන ජංගම දුරකතනයක් ඉල්ලූ අවස්ථාවේ ලබා නොදීමත්, කල් ගතවී භාර දුන් දුරකතනයේ දත්ත මකා තිබීමත්, සනත් ජයසූරියට චෝදනා නැගීමට හේතුවී ඇති බව ගගන ට දැනගන්නට ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසයි: “කෙසේවෙතත්, මාහට එල්ල වී ඇති චෝදනා තරග පාවා දීම්, තණතිලි වෙනස් කිරීම් හෝ ඒ හා සමාන වෙනත් දූෂණ ක්‍රියාකාරිත්වයක් සම්බන්ධයෙන් නොවන බව ප්‍රකාශ කරමි. චෝදනා එල්ල වී ඇත්තේ, ඔවුන්ගේ පරීක්ෂණවලට සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙනි.”

ක්‍රීඩාව සම්බන්ධයෙන් “අවංකභාවයෙන් සහ පාරදෘශ්‍යභාවයෙන්” හැම විට ම කටයුතු කර ඇති  බව පවසන චූදිත ක්‍රිකට්  ශූර සනත් ජයසුරිය ඉදිරියේදී ද “එය එසේ ම කරගෙන” යාමට සහතික වෙයි.

 

Related posts

Comments are closed.

Top