“සයිටම් ප්‍රශ්නයට හෝ වෛද්‍ය සභාවට හෝ අත ගැසීමට GMOA ට අයිතියක් නැත”


අධිකරණ තීන්දුවක් අනුව ආණ්ඩුවේ වගකීමක් බවට පත් කර ඇති සයිටම් ආයතනය හෝ වෛද්‍ය සභාව අලුතින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ගෙන ඇති තීරණයට හෝ මැදිහත් වීමේ සදාචාරාත්මක හෝ නෛතික හෝ අයිතියක් නැතැයි ශ්‍රී ලංකාවේ ක්‍රියාධරයන් පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) කියා සිටී.
“ජනතා අවශ්‍යතා වලට ඇඟිලි ගැසීමට ආත්මාර්ථකාමී වෛද්‍ය සංගමයට සදාචාරාත්මක අයිතියක් නැත” යන හිසින් ඔවුන් විසින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්න හතක් වෙනුවෙන් සතියක් ඇතුළත සාධාරණ විසඳුම් නොලැබෙන්නේ නම්, “රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව දීප ව්‍යාප්ත යෝධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්” ගන්නා බවට අනතුරු ඇඟවීමෙන් පසුය.

ඔවුන්ගේ නිවේදනයේ ආණ්ඩුවේ හෝ ජනතාවගේ අවධානය යොමු විය යුතු වැදගත් කිසිවක් නොවුනු බව පවසන ක්‍රියාධර පිරිස මෙසේද කියා සිටී.
“අභියාචානාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සයිටම් වෛද්‍ය පීඨය උපාධි ලබා දිය හැකි නෛතික ආයතනයක් යැයි පිළිගනු ලැබ ඇත. ඒ අනුව, එහි වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවෙහි තාවකාලික ලියාපදිංචිය ලබාදෙන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය. ආණ්ඩුව සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් පැහැදිලි ස්ථිර තීන්දුවක් නොගෙන, කොතලාවල ආරක්ෂක ඇකඩමිය ඊට ගැට ගසනු ලැබුවේ එම පනත සංශෝධනය කිරීමෙනි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමග සයිටම් වෛද්‍ය පීඨය තරමට හෝ පහසුකම් නැති කොතලාවල ආරක්ෂක ඇකඩෙමියේ වෛද්‍ය පීඨය දැන් ආණ්ඩුව අත ඇති තවත් තේරීමක් පමණි. එලෙසින්ම සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවෙහි තාවකාලිකව ලියාපදිංචි කර ඔවුන්ට අවශ්‍ය කෙටිකාලීන පුහුණුව සඳහා පහසුකම් ලබාදීමේ වගකීමද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් ආණ්ඩුව වෙත පැවරෙන්නේය. ඒ සමග, සයිටම් වෛද්‍ය පීඨයේ ඉතිරි සියලු වෛද්‍ය උපාධිලාභීන් මෙතෙක් අතරමං කර තැබූ හෙයින් ඔවුන්ගෙන් අමතර කිසිදු අය කිරීමකින් තොරව, වැදගත් ස්ථාවර විසඳුමක් ලබාදීමේ වගකීමද දැන් ආණ්ඩුව සතුය.
කෙටියෙන් කියන්නේ නම්, සයිටම් ප්‍රශ්නයට අත ගැසීමේ කිසිදු නෛතික හෝ සදාචාරත්මක අයිතියක් දැන් වෛද්‍ය සංගමයට නැත. එබැවින් සයිටම් වෛද්‍ය උපාධිලාභීන්ගේ ජීවිත වලට අත පෙවීම වෛද්‍ය සංගමය වහා නතර කළ යුතුය.
එලෙසින්ම, දැනටත් පමා වී ඇති සමාජ අවශ්‍යතාවක් වන නව නීතියක් මගින් වෙනත් වෘත්තිකයන් හා විද්වතුන්ද ඇතුළත් කෙරෙන පරිදි වෛද්‍ය සභාව අලුතින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා ගෙන ඇති පියවරටද වෛද්‍ය සංගමය අත නොගැසිය යුතුය. මහ බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ සහ එවැනි වෙනත් රටවල වෛද්‍ය වෘත්තිකයන් නොවන වෙනත් සමාජ නියෝජන ඔවුන්ගේ වෛද්‍ය සභා සඳහා ලබාගෙන ඇත්තේ ඒවායේ අධිකාරී බලය ශක්තිමත් කිරීමටය. ඇමතිවරයා විසින් පස් (05) දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත්තේ බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව පිහිටුවා ඇති පනත සහ වෙනත් රටවල එවැනි නීති රෙගුලාසි අධ්‍යයනය කර ජනතාවගේ අවශ්‍යතා වඩා හොඳින් ඉටු කෙරෙන ආකාරයේ නව නීති කෙටුම්පතක් ඉදිරිපත් කරන මෙන් පැහැදිලි වගකීමක් ඇතිවය.

සාධනීය පියවරකට එරෙහි හිස් විරෝධතා

“මෙය ඉතා සාධනීය පියවරක් යැයි අපි විශ්වාස කරමු. එය තව දුරටත් දියුණුකර ඉදිරියට ගත යුතු යැයිද අපි විශ්වාස කරමු. ඒ සඳහා වෛද්‍ය වෘත්තියෙන් පිටත විද්වත් සමාජ නියෝජනයක් කමිටුවට එකතු කළ යුතුව ඇත. එහි කාන්තා නියෝජනයක් තිබීමත් අපි අවධාරණය කරමු. විශේෂයෙන් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජන නියෝජනය වැදගත් එකතුවක් විය යුතුය. එවගේම, නව නීතිය කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සමාජ කතිකාවකට බඳුන් විය යුතු ක්‍රියාවලියක් යැයි අපි අවධාරණය කරමු. අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට පෙර ජනතාව අතර සංවාදයට තැබිය යුතු ය.
එවැනි පසුබිමක අපගේ ඉතා දැඩි විශ්වාසය වන්නේ හිස් විරෝධතාවල නිරතවන වෛද්‍ය සංගමය කඩාකප්පල්කාරී කරදරකාරී සංවිධානයක් බවය. එබැවින් ඔවුන්ට ඉතා දැඩි ලෙස කිව යුත්තේ ඔවුන්ගේ පස් (05) අවුරුදු වෛද්‍ය අධ්‍යාපනයද ඇතුලුව අවුරුදු 18 ක ඔවුන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකර ඇත්තේ මේ රටේ ජනතාව බවය. ඔවුන්ට නොගෙවිය යුතු දීමනාද සමග ඔවුන්ගේ මාසික වැටුප ගෙවන්නේ මේ රටේ ජනතාව යැයි ඔවුන්ට මහ හඬින් මතක් කළ යුතුය. වෛද්‍ය සංගම් නායකයන්ට ඉතා පැහැදිලිව කිව යුත්තේ මහජන මුදලින් අතිකාල වැටුප් ගැනීමට අවශ්‍ය නම්, අනෙක් රජයේ සේවකයන් මෙන් වෛද්‍යවරුන්ද පැමිණීමේ ලේඛනයක අත්සන් තැබිය යුතු යැයි කියාය. නැවත නැවතත් නොකිවමනා අනෙක් කාරණාව නම්, දැනට මාසිකව ලබා ගන්නා “ඩැට්” (DAT – අපහසුතාව, ඉදිරිපත්වීම සහ ගමනාගමනය සඳහා) දීමනාව සහ බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලීම් කිසිවක් ලබා දීමට මේ රටේ ජනතාවට අවශ්‍යතාවක් නැත යන්නය.”

සේවය පළමුව

“රජයේ වෛද්‍යවරුන් ලෙස මහජන මුදලින් යැපෙන්නට ඔවුන්ට අවශ්‍ය නම්, ඔවුන් පළමුව කළ යුත්තේ ජනතාවට සේවය කිරීම ප්‍රමුඛතාවය ලෙස පිළිගැනුමය. අපට නව නීතියක් අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙනි. ඉතා දියුණු, තත්ත්වයෙන් ඉහළ, රෝග නිවාරණ සෞඛ්‍ය සේවාවක් සමග ඉහළ ප්‍රමිතියක සෞඛ්‍ය සේවයක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ හැකි සමාජ නියෝජනයක් සහිත වෛද්‍ය සභාවක් අවශ්‍ය වන්නේද ඒ වෙනුවෙනි. වෛද්‍ය සභාව වර්තමානයේ මෙන් වෛද්‍යවරුන්ගේ සංගමයේ සහ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සම්මේලනයේ බලහත්කාරකම් වලින් නිදහස් කර තබා ගැනීමටය.
අවසාන වශයෙන් කිව යුත්තේ ජනතාවගේ මුදලින් යැපෙන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නායකත්වයට ජනතා අභිලාෂයන්ට අත පෙවීමේ නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැත යන්නය. ජනතාවට තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය හැකිය.”

Related posts

Comments are closed.

Top