දෙමළ මාධ්‍යවේදියකුට කරන TID අඩන්තේට්ටම් වහාම නවතන ලෙස ජාත්‍යන්තර ඉල්ලීමක්

හින්දු කෝවිලක ආගමික උත්සවයක් වාර්තා කිරීම නිසා උතුරේ දෙමළ මාධ්‍යවේදියකුට හිරිහැර කිරීම අත්හිටුවන ලෙස ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

යාපනයේ ආනෙයිකෝට්ටේහි කන්නගි අම්මාන් කෝවිලේ මේ වසරේ ජූනි මාසයේ පවත්වන ලද උත්සවයක් වාර්තා කළ නිදහස් මාධ්‍යවේදී උදයරාසා ශාලින්ට එවක් පටන් දිගටම කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා ප්‍රශ්න කර තිබේ.

ප්‍රශ්න කිරීමට පදනම් කරගෙන ඇත්තේ කෝවිල තුල තිබූ පාරම්පරික දෙමළ වාසභූමි දැක්වෙන තොරණක ඡායාරූපයක් “වාලම්පුරි” පුවත්පතේ පල කිරීමයි.

පසුගිය දෙමාසය පුරාම මාධ්‍යවේදියා ප්‍රශ්න කිරීම සඳහා කොළඹට කැඳවා ඇති අතර, පළමු විභාග කිරීම සඳහා නීතිඥ සහාය ලබා ගැනීමට හෝ TIDය ඔහුට අවසර දී නැති බව පවසන පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) සංවිධානය අඩන්තේට්ටම් නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ඔහුට කිහිපවර තර්ජනය කර ඇති බව කරන බව පවසන RSF “අවුරුදු දෙකකට ඉස්සර මේ දේ උනානම්, අපි උඹගෙන් ප්‍රශ්න අහන්නේ නැතිව කකුල් දෙකෙන් එල්ලලා අතුරුදහන් කරනවා,” යි TID නිලධාරීන් පැවසූ බව උදාහරණයක් ලෙස දක්වා තිබේ.

ඔහුගේ බාල සහෝදර ජෙල්සින් ඇතුළු මිතුරන් සහ ඥාතීන් ගණනාවකගෙන්ද ප්‍රශ්න කරමින් මේ මාසය තුල  හිරිහැරය තවත් වැඩි කර ඇති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“ඉහළ ගුණයෙන් යුත් වාර්තාකරණයක් සහ මානව හිමිකම් පිළිබඳ වාර්තාකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන්ද ගෞරවාදරයට පාත්‍රවී සිටින මාධ්‍යවේදියකුට මෙසේ අඩන්තේට්ටම් කිරීම වහාම නවතා දමන ලෙස අපි ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු,” යි RSF ආසියා ශාන්තිකර අංශයේ ප්‍රධානී ඩැනියෙල් බාස්ටඩ් පවසයි.

“පැහැදිලි ලෙසම උදයරාසා ශාලින් බියගැන්වීම සඳහා සැලසුම් කර ඈති මෙම බිය ගැන්වීම් මතකයට නංවන්නේ දෙමළ ජනමාධ්‍යවේදීන් ආකාරයෙන් වධයට ගොදුරු කරගත් ශ්‍රී ලංකාවේ නපුරුම කාල පරිච්ඡේදයයි. එම විනාශකාරී අතීතයට ආපසු නොයෑම සඳහා ඇති අධිෂ්ඨානය කොළඹ ආණ්ඩුව මගින් විදහා දැක්විය යුතුය.”

මේ සියවස ආරම්භයේ සිට ශ්‍රී ලංකාවේ අඩුම වශයෙන් මාධ්‍යවේදීන් 15 දෙනකුවත් ඝාතනය කර ඇති බව සිහිපත් කර දෙන RSF නිවේදනය එම ඝාතන වලට වගකිවයුත්තන් අදත් දඬුවමින් ගැලවී සිටින බව පෙන්වා දෙයි.

Related posts

Comments are closed.

Top