වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස රනිල් ඇතුළු 126ක් ඉල්ලයි | VIDEO

මහින්ද රාජපක්ෂ අගමැතිවරයකු ලෙස පත්කරමින් ජනාධිපති වරයා විසින් කල් දමන ලද පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස බලකරමින් සම්මුති ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 126 ක් කතානායකවරයාට ලිපියක් බාරදී තිබේ.

එම ලිපියට එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ ජනතා විමුක්ති පෙරමුණට අයත් මන්ත්‍රීවරුන් අත්සන් කර ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 225 කි.

“එම ලියවිල්ල මගින් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථානුකූලව මෙම දේශපාලන අර්බුදය විසඳන ලෙසයි,” යනුවෙන් පැවසූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සම්මුති ආණ්ඩුවෙන් වෙන්වීම සමගින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කරන චෝදනා දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

“බහුතර බලයක් නැති අගමැතිවරයෙක් යෝජනා කිරීම ගැන මම කණගාටු වෙනවා. තමන් කළ මෙම වැරදි වැඩේ වහගන්න දැන් පුංචි ළමයෙක් වත් විශ්වාස නොකරන කතන්දර කියෝනවා.”

ජාත්‍යන්තර අවධානය

මේ අතර, ශ්‍රී ලංකාවේ අගමැති පදවියට දෙදෙනකු උරුමකම් කියමින් මතුවී ඇති දේශපාලන අවිනිශ්චිත භාවය අවසන් කර දැමීම සඳහා පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස දේශීය සංවිධාන ගණනාවක් මෙන්ම එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ  විදේශීය රාජ්‍යද ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ස්ටෙෆාන් ඩුජාරික් ව්‍යවස්ථාවට සහ රටේ නීතියට ගරු කරමින් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

රටේ අගමැතිවරයා කවුදැයි තීරණය කිරීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට ලබාදෙමින් පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් නිකුත් කළ නිවේදනයකින් ඉල්ලා ඇත.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකර ඔහු අගමැති ලෙස පත් කිරීම “කිලිපොලා යන බියක්” ජනිත කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය (HRW) පවසයි.

පාර්ලිමේන්තුව කල් දැමීම HRW ආසියා අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් විසින් හඳුන්වනු ලැබුවේ “අතීත අපරාධකාරයන්ට ඔවුන්ගේ බියජනක පුරුදු කරා නැවත ඒමට දොර හැර දීමක්” ලෙසිනි.

ලංකා සභාව මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිවේදීන් ද පාර්ලිමේන්තුව නැවත කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලීම් කර තිබේ.

Related posts

Comments are closed.

Top