“මාරක ග්‍රහණයට” ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්න එපා: බ්‍රිතාන්‍යයට ඉල්ලීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලය අල්ලා ගැනීමට වීරිය කරන අවස්ථාවක පුද්ගලයන් ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් පිටුවහල් කිරීම වහාම නවතා දමන ලෙස වධබන්ධනයට ලක්වූවන්ට ප්‍රතිකාර කරන ලෝකයේ ප්‍රමුඛතම ආයතනයක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටී.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය වරයා වෙත පෙර නොවූ විරූ ඉල්ලීමක් යොමු කරන ලන්ඩනය මුලස්ථාන කොටගත් වධ හිංසාවෙන් නිදහස (Freedom from Torture-FfT) ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයත් සමග යුද හමුදා, පොලිස් සහ බුද්ධි අංශ මගින් සිදු කෙරෙන කෘර ක්‍රියා වඩාත් තියුණු විය හැකි බවට බිය පල කරයි.

ගගනට විශේෂ ප්‍රකාශයක් කරන FfT ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකාව පැවසුවේ තමන් වෙත ප්‍රතිකාර ලැබීමට පැමිණි පුද්ගලයන් දහස් ගණනකට වධහිංසා කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පමණ වගකිව යුතු අයකු “ලෝකයේම නැති තරම්” යනුවෙනි.

මහින්ද රාජපක්ෂ පාලන කාලය “භීෂණ සමයක්” ලෙස හඳුන්වන මානව හිමිකම් සංවිධානය එහිදී වැඩිම පීඩාවට පත්ව සිටින්නේ දෙමළ ජනතාව බව අවධාරණය කරයි.

එවන් තත්වයක් යටතේ බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම එම සංවිධානය විසින් හඳුන්වා දී ඇත්තේ “රාජපක්ෂගේ මාරක ග්‍රහණයට” යැවීමක් ලෙසයි.

“බ්‍රිතාන්‍යයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල දී අප විසින් ප්‍රතිකාර කරන ලද සංඛ්‍යාව සැලකිල්ලට ගත් කල වදහිංසා කිරීම සම්බන්ධයෙන් ඔහු පමණට වගකිව යුත්තෙක් ලෝකයේම නැති තරම්,” යැයි FfT ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා සොන්යා ස්කීට්ස් ගගන හා කියා සිටියාය.

“ඔහු ආපසු බලයට පැමිණීම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාධරයන්ට, මානව හිමිකම් ආරක්ෂකයන්ට සහ මාධ්‍යවේදීන්ට කවර ආකාරයේ බලපෑමක් ඇති කරයිද යන්න කෙරෙහි අපේ බරපතල අවධානය යොමුවී පවතී. එහෙත් අපේ විශේෂ අවධානයක් යොමුවී ඇත්තේ විශේෂයෙන්ම මේ රටේ ඇතුළු ඩයස්පෝරාවේ දෙමල ජනතාව ගැනයි.”

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට  යාමෙන් අනතුරුව වධහිංසාවට ලක්වූ 80 ක් පමණ දෙනා පිළිබඳ වෛද්‍ය වාර්තා තමන් සතුව ඇතැයි සොන්යා ස්කීට්ස් වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

මෑතදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වුනු බ්‍රිතාන්‍ය නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබුනේ “වේගවත්ව සිදුවන” දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් සිය බලවත් අවධානය යොමුව ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තේරී පත්වූ මහජන නියෝජිතයන්ට සිය හඬ පල කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස මාක් ෆීල්ඩ් අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන් ඉල්ලා තිබුනි.

බ්‍රිතාන්‍ය රජයේ අවධානය ප්‍රයෝජනවත් ක්‍රියාකාරිත්වයකට පත් කිරීමට නම්, “රාජපක්ෂගේ මාරක ග්‍රහණයට කිසිවකු නොයවන බවට” සහතික විය යුතු බව වධ හිංසාවෙන් නිදහස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටී.

Related posts

Comments are closed.

Top