මහින්ද විරෝධී විශ්වාස භංගයට ජවිපෙ සහාය | VIDEO

පාර්ලිමේන්තුව කල් දමා පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනාම ඒ සඳහා එක්වන බව ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි සිය  ප්‍රධාන කාර්යාලයේ දීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් “වරදාන, වරප‍්‍රසාද හා කළු සල්ලි ලබාදී” දියත් කරන ලද්දේ  “ව්‍යවස්ථා විරෝධී හා සදාචාර විරෝධී දේශපාලන කුමන්ත්‍රණයක්” බවට ජවිපෙ විසින් හෙලා දකින ලදී.

“පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වන අයවැයකදී එය පරාජයට පත්කිරීමට සහාය දෙනවා. ඒ වගේම විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළ කරනවා. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව පත්කළ තනතුරුවලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වෙනවා නම් එයට සහාය පළ කරනවා. එමෙන්ම එම විශ්වාසභංගය ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපිට ගෙන ඒමට හැකි නම් ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා,” යි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහට හෝ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන් අයකුට ආණ්ඩුව පිහිටුවීම සඳහා හෝ ඔවුන්ගේ බලය ආරක්ෂා කරගැනීම සඳහා කිසිදු සහයක් නොලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම වැනි අවස්ථාවලදී බටහිර රටවල් විසින් අපේ රටට විවිධ අතපෙවීම් සිදුකරන බවට අනතුරු ඇඟවූ ජවිපෙ නායක ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ඊට “රතු පාවඩ එලීමක්” ලෙස හඳුන්වා දුන්නේය.

“බටහිර රාජ්‍යයන් ඉතා හොඳින් රතු පාවාඩ එලලා රටට කැඳවා ගැනීමක් තමයි මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරලා තියෙන්නේ.”

බලහත්කාරී ආණ්ඩු බලය අවසන් කර දැමීම කවර හෝ මැතිවරණයකට යාමට පෙර අවශ්‍ය පුර්ව කොන්දේසියක් බව ජවිපෙ නායකයා අවධාරණය කළේය.

Related posts

Comments are closed.

Top