නොවැම්බර් 7 පාර්ලිමේන්තුවේ දොර ඇරීමට කතානායක සුදානම්  

මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පිළිගැනීමට සූදානම් නැති බව පෙන්වා ඇති කතානායකවරයා ජනපති නියමය නොතකා නොවැම්බර් 7 බදාදා පාර්ලිමේන්තුව විවෘත කිරීමට සැරසෙයි.

දවස් දහයකට ඉහතදී කල් දැමූ පාර්ලිමේන්තුව නොවැම්බර් 14 දා විවෘත කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගැසට් මගින් දැනුම් දී තිබේ.

එයින් සතියකට පෙර මැතිසබය විවෘත කරන බවට ජනාධිපතිවරයා තමන්ට දුන් පොරොන්දුවක් කඩකොට ඇති බව පෙන්වා දෙන කතානායකවරයා තමන් ඒ සඳහා පියවර ගන්නා බව දැඩි ස්වරයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

“අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේ නම් නොවැම්බර් 07 වන දින වන විට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් මාගේ යුතුකම වේ,”  යි පෙන්වා දෙන කරු ජයසූරිය ඊට සහාය වීම ජනාධිපති වරයාගේ යුතුකමක් බවට විශ්වාසය පල කරයි.

නොවැම්බර් 7 දා පාර්ලිමේන්තුව නැවත කැඳවන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දුරකතනයෙන් තමන් අමතා දැනුම් දුන් බව කතානායකවරයා පවසයි.

“මා නොවැම්බර් මස පළමුවන දින අතිගරු ජනාධිපතිතුමන් හමු වූ අවස්ථාවේ දී එතුමා දන්වා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස මවිසින් කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකොට එදින රාත්‍රියේදී මා දැණුවත් කරන බවයි,” යනුවෙන් කතානායක නිවේදනයේ සඳහන් වෙයි.

“එය එ‍ලෙසම සිදු නොවූ නමුත්, පසු දින පෙරවරු 10.30 ට පමණ එතුමා දුරකථනයෙන් මා අමතා නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව දන්වා සිටි අතර එදින පෙරවරුවෙහි එතුමා හමු වූ ජපන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඇෆ්ගනිස්තාන් තානාපතිවරුන් හමුවේ ද එතුමන් තහවුරුකර තිබුණේ නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවයි.”

“නව පාර්ශවය” ප්‍රතික්ෂේප වෙයි

ජනාධිපති විසින් ගන්නා ලද තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙසත් සඳහන් කරමින්, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනකුගේ අත්සන් සහිතව ඉදිරිපත් කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බව කතානායකවරයා පිළිගනී.

ඉකුත් දස දින තුලදී අගමැති වශයෙන් පාර්ලිමේන්තුවට පත්කරන ලද මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම “නව පාර්ශවය” ලෙසින් හඳුන්වන කතානායක කරු ජයසූරියගේ නිවේදනයෙන් අවධාරණය කෙරෙන පරිදි ඔවුන් විසින් බහුතරයක් පෙන්වන තුරු නිල ආණ්ඩුව වශයෙන් පිළිගැනෙනු ඇත්තේ “පෙර පැවති” රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ඇමැති මණ්ඩලයයි.

“පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි,” යි එම නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපතිවරයා මුල්වී පවත්වාගෙන යන දේශපාලන ක්‍රියා කලාපය “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවියයුතු අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක්” ලෙසින් කතානායක වරයාගේ හෙලා දැකීමට ලක්වී ඇත.

කතානායකවරයාගේ නිවේදනය නිකුත් වී පැය කීපයකින් පසු පාර්ලිමේන්තුව අබියස දීම මහින්ද රාජපක්ෂ සමග අවුරුදු හතරකට පසු පළමු වතාවට ප්‍රසිද්ධ වේදිකාවකට ගොඩ වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැඩි ලෙස කියා සිටියේ “කොයි ආකාරයේ තර්ජන ආවත්” තමන් පෙරට තැබූ පියවර ආපසු තබන්නේ නැති බවයි.

Related posts

Comments are closed.

Top