වහාම මැතිසබයේ දොර ඇරීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම්  

ජනාධිපතිවරයා විසින් වසා දමන ලද පාර්ලිමේන්තුව නැවත විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කොළඹදී සාකච්ඡා පවත්වා ඇති අතර ව්‍යවස්ථාවට ගරු කරන ලෙස ජාත්‍යන්තර රාජ්‍ය සංවිධාන කිහිපයක්ම රජයෙන් දිගටම ඉල්ලීම් කරමින් සිටී.

වත්මන් දේශපාලන අර්බුදය සමහන් කරනු පිණිස පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ අවශ්‍යතාව කතානායක සහ විපක්ෂ නායක සමග කතා කළ බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි.

“පාර්ලිමේන්තුව නැවත කැඳවා මේ දේශපාලන අර්බුදය අවසන් කිරීමේ වැදගත් කම කතානායක කරු ජයසූරිය සමග සාකච්ඡා කළෙමි,” යි පවසන ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් මන්ත්‍රීවරුන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

“මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුය. මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයන්ට ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩ දිය යුතුයි.”

දීපාවලී සුබ පැතුම් ද රැගෙන විපක්ෂ නායක ආර් සම්බන්ධන් හමුවී පාර්ලිමේන්තුව වහාම විවෘත කර දේශපාලන අවුල් ජාලය නිම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද එක්සත් ජනපද තානාපති වරිය පවසන්නීය.

“කල් පවත්නා සංහිඳියාව සඳහා ගතයුතු වෙනත් පියවර සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය දක්වන කැපවීම,” නැවත වතාවක් තහවුරු කළ බව විපක්ෂ නායක හමුව නිමවී ඇලයිනා ටෙප්ලිට්ස් තානාපතිවරිය නිවේදනය කළාය.

ජිනීවා යෝජනාව

ශ්‍රී ලංකාවේ කල් පවත්නා සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කර ගැනීම වෙනුවෙන් එක්සත් ජනපදය කැපවී සිටින වගට තානාපතිනිය සහතික වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ වෙනුවෙන් රජය සමග “සාධනීය ගනුදෙනුවක්” පවත්වාගෙන යන ලෙස විපක්ෂ නායකයා ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තුව විවෘත කිරීම තව දුරටත් කල් දැමීම මගින් සිදුවන්නේ “පැති මාරු කරන්නට බලා සිටින අයට විවිධාකාර වරදාන දෙමින් සිදුකරගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය සුජාත කිරීමට මග පෑදීමක්,” බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් එක්සත් ජනපද රාජ දුතිකාවට පවසා තිබේ.

එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය ජාත්‍යන්තර බලවතුන් නොඉවසන බව තානාපතිවරීය ප්‍රකාශ කළ බව විපක්ෂ නායකයා ගගන හා කියා සිටියේය.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න “ප්‍රමාණවත් ලෙස විසඳීමට” පියවර ගෙන නැති ආණ්ඩුව සම්බන්ධයෙන් දෙමළ ජනතාව නොසතුටින් සිටින වගද විපක්ෂ නායකයා අවධාරණය කර  තිබේ.

“දේශපාලන සිරකරුවන්, නැවත පදිංචිය, පුනරුත්ථාපනය, හමුදාව වාඩිලාගෙන සිටින ඉඩම් මුදා හැරීම සහ අතුරුදහන් වුවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රගතිය මන්දගාමී,” යැයි ඇලයිනා ටෙප්ලිට්ස් තානාපතිවරිය හා කියා සිටි බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වුවත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් කැප වන බවට තානාපතිවරිය සහතික වූයේ යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වර්තමාන අර්බුදය විසඳා ලීමට පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කරනු ඇති බවට විශ්වාසය පල කරන ලන්ඩනය මුලස්ථාන කොටගත් පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය  ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ගරු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පිණිස සාධනීය සංවාදයකට එළැඹෙන ලෙස මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දේශපාලන නායකයන්ගෙන් සහ ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

“ශ්‍රී ලංකාවේ රජය හා ජනතාව ඉල්ලා සිටින අවස්ථාවක අනිකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමගද එක්වී  සහාය ලබා දීමට පොදුරාජ්‍ය මණ්ඩලය සැදී පැහැදී සිටී,” යි ස්කොට්ලන්ඩ් සාමිවරිය වැඩිදුරටත් පවසා තිබේ.

ජනපති-ජගත් මහ ලේකම් සංවාදය

සඳුදා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුනේ මේ මස මුලදී පවත්වන ලද දුරකතන සංවාදයකදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තම ක්‍රියාකලාපයට ආශිර්වාද කළ බවයි.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීම ව්‍යවසථානුකුල බව ජගත් මහලේකම්වරයාට තමන් පහදා දුන්නේයයි ජන මහිමය රැලිය අමතා ජනාධිපතිවරයා පවසා තිබුනි.

“මම එතුමාට මේ පත්වීම පිළිබඳ පැහැදිළි කළා. ව්‍යවස්ථාපිත තත්ත්වය පැහැදිළි කළා. එතුමා මට කිව්වා ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න ගන්නා තීන්දුවලදී ඉතා පැහැදිලිව අපි ඔබට සහයෝගය දෙනවා. ඒ පිළිබඳව අපේ ප‍්‍රශ්නයක් නැහැ කියන එක. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්තුමා සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික රටක් විදියට, මිත‍්‍රශීලි රටක් විදියට ඉතා පැහැදිළිව මම කියනවා අපිට ඒ ලැබුණු ආශිර්වාදය මම ඉතාමත් අගය කරනවා කියන එක.”

කෙසේ වෙතත් නොවැම්බර් පළමු දා පැවැත්වූ දුරකථන සංවාදයේ කතාබහ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් එජා සංවිධානයත් පවසා තිබුනේ පරස්පර කරුනුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශිකාවක් ගගන හා කියා සිටියේ පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙසත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ගිවිසගත් පොරොන්දු ඉටු කරන ලෙසත් මහලේකම් අන්තෝනියෝ ගුතරෙස් විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, ජනපති පත්කළ අගමැතිගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මියගිය හමුදා සෙබළුන්ට සෙත් පැතීමේ උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබුනේ විදේශීය රටවලට ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට දිහත් විය යුතු නැති බවයි.

 

Related posts

Comments are closed.

Top