ප්‍රජාතන්ත්‍රවාදය “අමු අමුවේ ගැරහු” ජනපති දුන් නම්බු නාමය ඔහුටම හරවා යවයි

හැත්තෑ අවුරුද්දක් පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගර්හා කළ බවට ජනාධිපතිවරයාට චෝදනා කරන ප්‍රවීණ රාජ්‍ය සේවකයකු තමන්ට පිරිනමන ලද නම්බු නාමයෙන් ලැබෙන අභිමානයක් නැතැයි පවසයි.

දශක 6 කට ආසන්න කාලයක් මෙරටට කළ සේවය වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන අතින් “දේශමාන්‍ය” නම්බු නාමයෙන් පිදුම් ලත් ආචාර්ය දේවනේසන් නේසයියා සිය ගෞරව සම්මානය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ.

සම්මානය ආපසු ලබා දීම විනා දේශප්‍රේමී ලාංකිකයෙක් වශයෙන් තමන්ට වෙන විකල්පයක් නැති බව සඳහන් කෙරෙන ලිපියක් 7 බදාදා ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යොමු කර ඇත.

1959 පටන් මෙරට සිවිල් සේවයේ කීර්තිමත් නිළධරයකු ලෙස සැලකෙන ආචාර්ය නේසයියා ජනපති අතින්  ගෞරවයට පාත්‍ර වුයේ පසුගිය වසරේ මාර්තු මසදී ය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය නොසලකමින් පසුගිය සති කිහිපය තුළ මෙරට පළමු පුරවැසියා හැසිරුණු ආකාරය පිළිබඳ කළකිරීමෙන් යුතුව ඔහු මෙම තීරණය ගත් බව ලිපියෙහි සඳහන් වේ.

“ඔබ ළඟින් ආශ්‍රය කර නොතිබුණත්, ජනපති වශයෙන් පත් වූ දා මම, මගේ පවුල වගේම යහළුවන් අතිශයින් සතුටට පත් වුණා. ජනපතිතුමනි, වසර 70 ක ඉපැරණි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉකුත් දින කිහිපය තුළ ඔබ අමු අමුවේ ගැරහීම නිසා ඒ සතුට සහ බලාපොරොත්තුව කලකිරීමකට හැරුනා,” යනුවෙන් ඔහු පවසා තිබේ.

මේ වනවිට විදෙස් ගතව සිටින බැවින් මෙරටට පැමිණි පසු පදක්කම සහ සහතික පත්‍රය ජනපති කාර්යාලය වෙත ආපසු ලබාදීමට වැඩ පිළිවෙලක් සකසන්නේ යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

“ජනපතිතුමනි මගේ මේ තීරණය පහසුවෙන් හෝ ඉක්මනින් ගත් එකක් නොවේ. ආධුනිකයෙක් වශයෙන් ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු දා පටන් මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම ඉතාම අසීරු වුවත් වසර 60 කට ආසන්න කාලයක් ඉන් මට අභිමානයක් ගෙන දුන්නා. ස්වකිය ප්‍රතිපත්ති වලට පිටින් යාම ප්‍රතික්ෂේප කළ නිසා මගේ දීර්ඝ සේවා කාලය තුළ එක්සත් ජාතික පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවලින් නිරතුරුවම මම බැට කෑවා.”

“ඔබ මට පිරිනැමූ “දේශමාන්‍ය” නම්බු නාමය තවදුරටත් මා අභිමානයට පත් නොකරන නිසා, මගේ වටිනා පදක්කම සහ සහතිකය නැවත හරවා යැවීම විනා වෙන විකල්පයක් මා සතුව නැත,” යනුවෙන් වැඩිදුරටත් ඔහු ලිපියෙහි සඳහන් කර තිබේ.

ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප‍්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් දේශමාන්‍ය සම්මාන 10 ක් පිරිනමන බව ජනාධිපති මාධ්‍ය ඒකකය 2017 මාර්තුවේ දී ප්‍රකාශයට පත් කර තිබුනි.

Related posts

Comments are closed.

Top