අතුරුදහන් 11: දේශපාලන බල පෙරලිය නිසා ඥාතීන් බියෙන් | VIDEO

මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සිදුකෙරෙන නඩු විභාග වල අනාගතය පිළිබඳව වර්තමාන දේශපාලන අර්බුදය නිසා ආණ්ඩු බලය පිළිබඳ පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ බිය පල කෙරෙමින් පවතී.

නාවික හමුදා නිලධාරීන් චෝදනා ලබන අතුරුදහන් කිරීම් පිලිබඳ නඩුවක පීඩිතයන් වෙනුවෙන් දස වසරකට ආසන්න කාලයක් තිස්සේ පෙනී සිටින නීතිඥවරියක පවසන්නේ යුක්තිය ඉටු නොවීමේ අවදානම පිළිබඳව තම සේවාදායකයන් බියෙන් ඉන්නා බවයි.

“මොකද මිනිස්සුන්ගේ මනස තුල තියෙනවා, ඉස්සරහට දැන් මේ අලුතෙන් ආණ්ඩුවක් තියෙනවා, අපිට මේ තියෙන තර්ජන එක්ක අපිට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙයිද කියන කාරණාව,” යි අචලා  සෙනෙවිරත්න නීතිඥ වරිය කොළඹදී මාධ්‍යවේදීන්ට කියා සිටියේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදීය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් 2008-2009 කාල වකවානුවේදී පැහැරගෙන ගොස්, වදදී, අතුරුදහන් කරන ලද රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, ඩිලාන් මොහොමඩ්, මොහොමඩ් සජිත්, තිලකේෂ්වරම් රාමලිංගම්, තාග්‍යරාජා ප්‍රභාකරන්, සුසේයි පුල්ලේ අමලන් ලියෝන්, සුසෙයි පුල්ලේ රෝෂාන් ලියෝන්, කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීඩ්, කස්තුරි ආරච්චිලාගේ ඇන්ටනි සහ අලි අන්වර් ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ එම නීතිඥ වරියයි.

එම අපරාධය සම්බන්ධයෙන් සැක කෙරෙන නාවික හමුදා නිලධාරියකුට වසං වී ඉන්නට උදව් දුන් බවට චෝදනා ලබන ශ්‍රී ලංකාවේ ඉහළම හමුදා නිලධාරියා අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මේ වනවිට නියෝග කර තිබේ.

එම නිලධාරී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පොලිසිය මගහැර සිටින්නේ ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් බව රහස් පොලිසිය කිහිප වර පවසා ඇත.

පවතින තත්වය නිසා ඥාතීන් මාධ්‍යවේදීන් හමුවට පැමිණීමට පවා බියෙන් සිටින බව අචලා සෙනෙවිරත්න පැවසුවාය.

මෙතෙක් කල් පැවති සියලු ආණ්ඩු වලින් චූදිත යුද නිලධාරීන්ට සලසා තිබූ රැකවරණය ඉදිරියේ දී තවත් වැඩි වනු ඇති බවට සැක පහල කරන ඇය, “අධිකරණයට අත තියන්න එපා. නීතියට අත තියන්න එපා,” යි බලය අල්ලා ගැනීම වෙනුවෙන් පොර බදන සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

Comments are closed.

Top