මැතිසබය රැස්වූ විගස අගමැති ගැටලුව නොවිසඳුවොත් විදෙස් ආයෝජන අනතුරේ | VIDEO

කල් දමන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනාධිපතිවරයා විසින් නියම කර ඇති දිනයේ විවාදයට ගැනෙන විෂය ගැන රාජපක්ෂ පාර්ශවය සහ වික්‍රමසිංහ පාර්ශවය ජනතාව හමුවේ ප්‍රතිවිරුද්ධ කරුනු දක්වමින් සිටියදී අගමැති ධුරය පළමු කොට විසඳා ගත යුතු බවට ජාත්‍යන්තර බලපෑම් එල්ල වී තිබේ.

එසේ නොවෙතොත්, විදේශීය ආයෝජන රටට නොලැබී යාමේ අවදානමක් ඇති බවට බටහිර රටවල් ගණනාවක් අනතුරු අඟවා ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අගමැති කමට පත් කර ඇමැතිවරුන්ද දිවුරුම් දුන්නත්, ඊට අභියෝග කරමින් රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ තමන් ධුරයේ නිල හිමිකරු බවයි.

එය විසඳා ගත හැකිවන්නේ කතානායක විසින් අගමැති ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්වන මන්ත්‍රීවරයාට එරෙහි විශ්වාස භංගයක් මගිනි.

බටහිර රටවල් ගණනාවක් විසින් නිවේදනයක් මගින් ඉල්ලා ඇති පරිදි ජනාධිපතිවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුව නැවත රැස්වීමේදී වහාම කළ යුත්තේ “විශ්වාසය දැක්වීම” සඳහා ඡන්ද විමසීමයි.

අගමැති ධුරයට තරග වදින දෙපාර්ශවයම පවසා ඇති පරිදි නොවැම්බර් 16 තෙක් වසා දමා තිබූ පාර්ලිමේන්තුව දෙදිනකට කලින් විවෘත කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇත්තේ විදේශීය බලපෑම හේතුවෙනි.

යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ සහ ස්විට්සර්ලන්ත දූත මණ්ඩල ප්‍රධානීන් අවවාදාත්මකව ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව නැවත රැස්වූ සැනින් විශ්වාසය දැක්වීමේ ඡන්දය විමසා රට වර්තමානයේ මුහුණ පා සිටින බරපතල අවිනිශ්චිතතාව විසඳා ගන්නා ලෙසයි.

“තව දුරටත් ප්‍රමාද වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානිකර මෙන්ම ආයෝජකයන් පසුබැස්වීමටද හේතු වනු  ඇත,” යි බටහිර දූත මණ්ඩල නිවේදනයෙන් අනතුරු අඟවා තිබේ.

අගමැති ධුරය පිළිබඳ ගැටලුව අලුත රැස්වන පාර්ලිමේන්තුවෙන් පළමුකොටම විසඳාගත යුතු බවට එක්සත් ජාතික පක්ෂය කරුනු දක්වද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තර්කය වී ඇත්තේ එය වහා නිමකළ යුතු කාරියක් නොවන බවයි.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීම අනුමත කර ගැනීමට වෙහෙසෙන පාර්ශවය පවසන්නේ නැවත රැස්වන පාලිමේන්තුවේදී පළමු කටයුත්ත වන්නේ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම බවයි.

එයින් පසුව රැස්වන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි වැඩ පිළිවෙල තීන්දු කෙරෙන බව පවසන ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටින්නේ “ඒ න්‍යාය පත්‍රය අනුව යම් විදියකින් විශ්වාස භංගයක්ද, එහෙම නැත්නම් වෙනත් පාර්ලිමේන්තු කටයුත්තක්ද,” යන්න පිළිබඳ තීන්දුවක් ගනු ඇති බවයි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහගේ පදවියේ තබා ගැනීමේ අරමුණින් කටයුතු කරන පාර්ශවය කියා සිටින්නේ අගමැති ධුරය නිරවුල් කර ගැනීම මැතිසබය කැඳවන දිනයේ පළමු කටයුත්ත වන බවයි.

“අපි පාර්ලිමේන්තුවට යන්නේ මේ රටේ අගමැතිවරයා කවුද කියන ප්‍රශ්නය නීත්‍යානුකුලව, තීරණාත්මකව අවසන් කරගෙන එලියට එන්න බලාපොරොත්තුවෙන්,” යයි අජිත් පී පෙරේරා කියා සිටී.

 

Related posts

Comments are closed.

Top