ජනපතිගේ ක්‍රියාකලාපය ගැන උත්තර බැඳීමට උසාවිය නීතිපතිට දවසක් කල් දෙයි | VIDEO

ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් එකවර ගොනුවුනු වැඩිම පෙත්සම් සංඛ්‍යාව විමසීම විනිසුරු තුන්කට්ටුවක් විසින් දිනකට කල් දමන ලදී.

මැතිසබයේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂ මෙන්ම මැතිවරණ කොමසාරිස් වරයකුද ඇතුළු සිවිල් සංවිධාන සහ පුද්ගලයන් විසින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දහයකට වැඩි සංඛ්‍යාවක් විමසීම රටේ ඉහලම අධිකරණය විසින් කල් දමන ලද්දේ වගඋත්තරකරුවකු වන නීතිපති වරයා පිළිතුරු දීමට කල් ඉල්ලා සිටීම නිසාය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත්, ප්‍රකාශිත මහ මැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් වන තුරු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

ජනාධිපති ද නියෝජනය කරන නීතිපති ජයන්ත ජයසූරිය කල් ඉල්ලා ඇත්තේ අදාළ සියලු පාර්ශව වලට ලියකියවිලි බාර දී නැති බව දැනුම් දෙමිනි.

පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ඡන්දදායක අයිතිය උල්ලංඝනය වී ඇතැයි තර්ක කරන පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ ජනපති නියමය අත් හිටුවා ජනවාරි 5 දාට කැඳවා ඇති මහ මැතිවරණය අවලංගු කරන ලෙසයි.

නීතිපති, මැතිවරණ කොමසාරිස් සහ ජනාධිපති ලේකම් ඇතුළු බලධාරීන් පිරිසක් වගඋත්තර කරුවන් ලෙස නම් කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කේ කනගීස්වරන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ප්‍රකාර මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක බහුතරයක ඉල්ලීමක් නොමැතිව නිල කාලය අවුරුදු හතරහමාරක් ඉක්ම යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හළ නොහැකි බවයි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්  අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ හිටපු නීතිපති තිලක් මාරපනයි.

ඔහු  කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් 9 සිකුරාදා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මෙන්ම කිසිදු බලයක්ද නැති බවයි.

නිසි ක්‍රමවේදය අනුගමනය නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවන හෙයින් ඒ හා සමගම ප්‍රකාශයට පත් කර ඇති මහ මැතිවරණයද නීතිවිරෝධී බවට අධිනීතිඥ එම් ඒ සුමන්දිරන් තර්ක කළේය.

ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ කියා සිටියේ මහජනතාවගේ සෘජු නියෝජනය හිමි පාර්ලිමේන්තුවේ බලතල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වඩාත් ශක්තිමත් කර ඇති බවයි.

ව්‍යවස්ථාව අභියෝගයට ලක් වන විට එහි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් නීතිඥයන්ට පැවරෙන බව ඔහු සිහිපත් කර දුන්නේය.

ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය රටේ ආර්ථිකයටම අනිටු බලපෑමක් කර ඇති බවට  ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් කරුණු දැක්වීය.

මුස්ලිම් කොංග්‍රස් නා යක රවුෆ් හකීම් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ඉක්රාම් මොහමඩ් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ව්‍යවස්ථාවට ගරු කරමින් එය අනුගමනය කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින බවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  සහ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරෙයා ජනාධිපති ගේ ක්‍රියාව ඡන්දදායකයාගේ ජනවරමට එරෙහිව යන බවයි.

මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා ජනමතය ආරක්ෂා කෙරෙන්නේ මැතිවරණ පැවැත්වීමෙන්  පමණක් නොව ඡන්දදායකයා ගේ මනාපය ට ගරුකිරීමෙන් ද බවයි.

විසුරුවීම වලංගු නැති කල පාර්ලිමේන්තුව නැවත කැඳවීමට බාධාවක් නැති බව නීතිඥ සුරේන් පෙරේරා තර්ක කළේය.

ආචාර්ය ජයන්ත වික්‍රමරත්න විනිසුරු තුන් කට්ටුව හමුවේ පැහැදිලි කර දුන්නේ ව්‍යවස්ථාවේ අර්ථ නිරූපනය සම්බන්ධයෙන් නීතිය බලපාන්නේ කෙසේද යන්නයි.

අග විනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න එස් ජයවර්ධන විනිසුරුවන් විසින් 13 අඟහරුවාදා පෙරවරු 10 ට පෙත්සම් නැවත විභාග කිරීමට නියමිතය.

අධිකරණ තීන්දුව බලාපොරොත්තුවෙන් උසාවි භුමියේ සිටි කිහිප දෙනකු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය යුක්තිසහගත කිරීමට ප්‍රකාශයක් කළ වාසුදේව නානායක්කාරට හූ කියනු දැක ගන්නට ලැබුනි.

“අඩෝ හූ කියන්නේ කවුද” යනුවෙන් ඔහු කෝපයෙන් පිරිස දෙසට කඩා පනිනු වීඩියෝ ගත වී තිබේ.

Related posts

Comments are closed.

Top