යුද සමයේ එක්සත් ජනපදය රජයට ආධාර කළ බව මහින්ද කියයි

with obama

ඇමරිකා එක්සත් ජනපදය යුද සමයේදී  ශ්‍රී ලංකා රජය සමග ‘ඉතා සුහදව ආරක්ෂක තොරතුරු හුවමාරු කරගත්’ බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෙළි කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව ප්‍රතික්ෂේප කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ හිටපු රාජ්‍ය නායකයා හැටියට ඔහු දරන මතය පැහැදිලි කරමින් පවසා ඇත්තේ ‘විමර්ශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ පවතින ක්‍රියා පටිපාටි වලින් බැහැරව’ සිදුකොට ඇති බවයි.

තමන් ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවත් ඇතැම් බටහිර රටවල් අතරත් ‘යම් කිසි ආතතියක් තිබුණු බව,’ පිළිගන්නා ජනාධිපති රාජපක්ෂ, එසේ වෙතත්, ‘අපේ ප්‍රශ්නය තේරුම් ගත් ප්‍රබල නායකයින්ද’ බටහිර රටවල සිටි බව අඟහරුවාදා නිකුත් කළ නිවේදනයකින් ඔහු  පවසා තිබේ.

ජාත්‍යන්තර සබඳතා

ඉන් අයෙක් ලෙස ඔහු විසින් නම් කොට ඇති ඇමරිකානු සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුවේ හිටපු ප්‍රධානි ජෝන් කෙරී “ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසු ඇමරිකානු උපාය මාර්ගය වෙනස් කිරීම” යන මැයෙන් 2009 දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ආණ්ඩුවට විශේෂ වාර්තාවක්ද සැපයු බව සිහිපත් කරයි.

with John kerry

වර්තමාන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වන ජෝන් කෙරී නව රජය බලයට පත් වූ පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

ජාත්‍යන්තර සබඳතා යනු මානව හිමිකම් ගැන කථා කිරීම පමණක් නොවෙතැ’යි දක්වන හිටපු රාජ්‍ය නායකයා  පවසන්නේ ‘ආණ්ඩු විසින් කරන මිලදී ගැනීම්, කොන්ත්‍රාත් ලබා දීම, ආයෝජකයන්ට අවස්ථාව සලසා දීම වැනි කාරණා මානව අයිතීන් ප්‍රශ්න වලට වඩා’ ජාත්‍යන්තර සබඳතා වලට බලපාන බවයි.

එමනිසා, ඔහුගේ පාලනයක් පැවතියේ නම් මානව හිමිකම් වාර්තාව නිකුත් වීමත් සමග ආර්ථික සම්බාධක පැනවෙනු ඇති බවට ‘කියන කතාව’ රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කොට ඇත.

ජීඑස්පී ප්ලස්

එසේ වෙතත්, ශ්‍රී ලංකාවට සලසා තිබූ වරණිය බදු සහනය (GSP plus) යුරෝපා සංගමය විසින් අහෝසි කළ බවද පවසන හිටපු ජනාධිපති වරයා ඊට දොස් පවරන්නේ ‘යුරෝපයේ බලගතු දෙමළ ඊළාම් කණ්ඩායම්’ වලටය.

නිෂ්පාදන දහස් ගණනක් යුරෝපා වෙළෙඳපොලේ අලෙවියට සලසා තිබූ GSP plus සහනය 2010 දී ඉවත් කරන ලද්දේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති මුල් පෙලේ ජාත්‍යන්තර ප්‍රඥප්ති අනුගමනය කිරීමට   ශ්‍රී ලංකාවේ රජය ප්‍රතික්ෂේප කිරීම නිසායි.

යුද අපරාධ චෝදනා

“ආරක්ෂක හමුදාවන් වල ඇතැම් සාමාජිකයින්ට එරෙහිව චෝදනා ඇත්නම් එම චෝදනා ලංකාවේ පවතින නීතියට අනුව අපේ පවතින උසාවි පද්ධතිය යටතේ අපේ විනිශ්චයකාරවරුන් විසින් හා අපේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පමණක් විභාගයට ලක් කළ යුතුයැ,” යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත.

April 9

යුද අපරාධ චෝදනා විභාග කිරීමට ශ්‍රී ලංකාවේ රජය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය විසින්ද යෝජනා කරනු ලබන්නේ දේශීය නීති බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ ක්‍රියාදාමයකි.

විමර්ශන වාර්තාව එළිදක්වමින් මානව හිමිකම් ප්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් නිර්දේශ කොට තිබුනේ ජාත්‍යන්තර විනිසුරුවරුන් මුල් තැනක සිටින දෙමුහුන් අධිකරණයකි.

කෙසේ වෙතත්, යුද අපරාධ සහ මානව විරෝධී අපරාධ සිදුවූ බවට එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාවෙන් නගා ඇති චෝදනා සෘජුව ප්‍රතික්ෂේප නොකරන හිටපු ජනාධිපතිවරයා ‘සිදුවූවා යැයි කියන සිද්ධීන් සම්බන්ධව කිසිවෙකුගේ නම් සඳහන් නොවන්නේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට එය සනාථ කිරීමට නොහැකි නිසා’ යැයි සඳහන් කරයි.

 

Related posts

Comments are closed.

Top