මන්ත්‍රීවරුන් මිලට ගැනීම ගැන “ඇත්තටම දන්නේ ජනාධිපතිවරයායි” | VIDEO

පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බහුතරයක් ලබාගැනීමට දරන ලද උත්සාහයේදී මන්ත්‍රීවරුන් මිලදී ගැනීම පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ ජනාධිපතිවරයාට බව ධුරය හැරයාම ප්‍රතික්ෂේප කළ අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

“දේශපාලන වශයෙන් ඛේදජනක ලෙස” ඇතැම් විට මිලියන 500 දක්වා මන්ත්‍රී මිල නියම වූ බව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යුක්ති සහගත කිරීමේ වෑයමක් දරමින් ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබුනි.

හිටපු එක්සත් ජාතික මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර විසින් කතානායකවරයාට පැමිණිලි කර මාධ්‍යවේදීන්ට හෙළි කර තිබු පරිදි මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය තහවුරු කිරීම සඳහා ඔහුට කෝටි ගණනක අල්ලසක් යෝජනා කර තිබුනි.

“මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ඇතිවූ දේශපාලන උණුසුම් සහගත තත්ත්වයේදී මන්තී‍්‍රවරුන්ගේ වටිනාකම් මම පෙර කී පරිදි මිල නියම කිරීම ඒ අය විසින් කරනු ලැබුවා. එය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්,” යයි සති අන්තයේ රූපවාහිනියෙන් ජනතාව ඇමතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේය.

තත්වය “ඉතා අවාසනාවන්ත” බව පිළිගන්නා එක්සත් ජාතික පක්ෂ නායකයා කියා සිටින්නේ “මිළගණන් ගැන ඇත්තටම දන්නේ” ජනාධිපතිවරයා බවයි.

“මොකද අපේ පැත්තේ කීපදෙනෙක් හා ටීඑන්ඒ මන්ත්‍රීවරයෙක් ඒ පැත්තට අරගෙන මැති ඇමැති ධුර පිරිනැමුවේ එතුමායි,” යනුවෙන් ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ කියා සිටී.

ගැසට් මගින් කලින් සහතික වී තිබූ පරිදි  නොවැම්බර් 14 රැස් කිරීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තවත් හේතුවක් ලෙස ජනාධිපතිවරයා දක්වා සිටියේ එමගින් මාරාන්තික ගැටුමක් ඇතිවන්නට ඉඩ තිබු බවයි.

එය ප්‍රතික්ෂේප කරන එක්සත් ජාතික පක්ෂ නායකයා පවසන්නේ පක්ෂ නායකයන් කතානායකවරයා  සමග ගිය සතියේ සාකච්ඡා කළ අවස්ථාවේ එවැනි අනතුරු ඇඟවීමක් නොකරන ලද බවයි.

මන්ත්‍රී ඝාතන සිදුවිය හැකි බවට තොරතුරු ජනාධිපති වෙත තිබුනේ නම් ඔහුගේ වගකීම වන්නේ නිසි පියවර ගැනීම සඳහා කතානායකවරයා දැනුවත් කිරීම බව රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටී.

Related posts

Comments are closed.

Top