ඉහළම උසාවියෙන් ජනපති නියෝගයට තිරිංග: පාර්ලිමේන්තුව 14 කැඳවයි | VIDEO

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහමැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද හදිසි තීන්දුව ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

අධිකරණ තීන්දුව සමගින් නිවේදනයක් නිකුත් කරන කතානායක කරු ජයසුරිය පාර්ලිමේන්තුව නොවැම්බර් 14 දා නැවත රැස්වන බව මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් පසුගිය සතියේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව දෙසැම්බර් 7 දා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් පනවන ලදී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකුට එරෙහිව එකවර වැඩිම නීතිමය අභියෝග සංඛ්‍යාවක් එල්ලවූ පළමු අවස්ථාව මෙය සේ සැලකේ.

දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මැතිවරණ කොමසාරිස් වරයකු ඇතුළු පුරවැසියන් විසින් ජනාධිපතිගේ ක්‍රියා කලාපය ව්‍යවස්ථා විරෝධී බවට චෝදනා කරමින් ගොනු කරන ලද පෙත්සම් සංඛ්‍යාව අඩුම වශයෙන් 13 කි.

එම පෙත්සම් දෙසැම්බර් 5, 6 සහ 7 දිනවල අගවිනිසුරු නලින් පෙරේරා සමග ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

“ජනතාව සිය පළමු ජයග්‍රහණය අත් කරගෙන තිබේ. අපි පෙරට ගොස් අපේ සදාදරණීය දේශයේ ජනතා පරමාධිපත්‍යය ප්‍රතිෂ්ඨාපනය කරමු,” යි රනිල් වික්‍රමසිංහ ට්විටර් පණිවිඩයකින් සතුට පල කර තිබුනි.

“මේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සිය ඉතිහාසය පුරා දී ඇති වඩාත් වැදගත්ම තීන්දුවයි,” යනුවෙන් ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුව නැවත රැස්වනු ඇති බවට අධිකරණ භූමියේ සිටි එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම විශ්වාසය පල කර සිටියහ.

අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට රැස්වූ සිය ගණනක් රතිඤ්ඤා පත්තු කරමින් අධිකරණ තීන්දුවට සතුට පල කරනු දැකගන්ට ලැබුනි.

Related posts

Comments are closed.

Top