පාර්ලිමේන්තුව දවස් විස්සේ අගමැති අස් කරයි, ආණ්ඩුව අවිනිශ්චිතයි | VIDEO

දින විස්සකට ආසන්න කාලයකට ඉහතදී පත් කරන ලද අගමැති වරයා කලහකාරී පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් අනතුරුව ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් නොමැති වාතාවරණයක් උදාවී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ මනාපයෙන් ඔක්තෝබර් 26 දා අගමැති පදවිය ට නංවන ලද මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ රජය බදාදා සභාගත කරන ලද විශ්වාසභංග යෝජනාවකින් පරාජය කරන ලදී.

“ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා” යි සුදු පාටින් මුද්‍රණය කරන ලද කළු සාටක පැළඳ සිටි පැමිණ සිටි රාජපක්ෂ විරෝධී මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ වැඩියෙන් ඉන්නා බව කැපී පෙනුනි.

විශ්වාසභංගය විවාදයට ගැනීමට සූදානම් වන අවස්ථාවේ රාජපක්ෂවාදී මන්ත්‍රීවරු සබාගැබ මැදට පැමිණ කෑකෝ ගසමින් කතානායකවරයාට එරෙහිව සටන් පාඨ කියන්නට වූහ.

නොසන්සුන්කාරී තත්වය නිසා විවාදය අත්හිටුවා හඬ අනුව ඡන්දය විමසු කතානායකවරයා විශ්වාස භංගය අනුමත වූ බව ප්‍රකාශයට පත් කර සිටියේය.

ප්‍රතිපලය ප්‍රකාශයට පත්වීමට පෙරම මහින්ද රාජපක්ෂ සහ පුත් නාමල් සභා ගර්භයෙන් පිටව යනු දැක ගන්නට ලැබුනි.

බ්‍රහස්පතින්දා දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය දැනුම් දී සිටියේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව බහුතරයෙන් සම්මත වීම තහවුරු කරන ලිපි ලේඛන ජනාධිපති වෙත යවන ලද බවයි.

“විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාවේ තීරණය ද පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් කළ ලිපියේ පිටපතක් ද ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට ගරු කතානායකතුමන් විසින් පියවර ගනු ඇත,” යි කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද විශ්වාස භංගයෙන් කෙටි කාලීන රාජපක්ෂ රජය ඉවත් කෙරුනත්, ඉන් පෙර සිටි අගමැතිවරයා හෝ ආණ්ඩුව හෝ නම් කෙරුනේ නැත.

ඔක්තෝබර් 26 දාට පෙර පැවති ආණ්ඩුව ඉදිරියට රාජ්‍ය පාලන කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු පැවසූ එක්සත් ජාතික පක්ෂ නායකයා නීතිය හා සාමය රැකීමට පියවර ගන්නා ලෙස ත්‍රිවිධ හමුදාවෙන් හා පොලිසියෙන් ඉල්ලීමක් කළේය.

“ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අසමත්වූ ඊනියා ආණ්ඩුවක නීතිවිරෝධී අණ ක්‍රියාවේ යෙදවීම සිදු නොකළ යුතු බව සියලු රාජ්‍ය සේවකයන්ටද, පොලිසියටද දැනුම් දෙනු කැමැත්තෙමි,” යි රනිල් වික්‍රමසිංහ නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත්, විශ්වාස භංග තීන්දුව පිලි නිගන්නා බව පවසන රාජපක්ෂ වාදී මන්ත්‍රීවරු පාර්ලිමේන්තු බහුතරය පෙන්වා බලය ලබාගන්නා ලෙස එජාප නායකයාට අභියෝග කරති.

“බහුතරයක් තියෙනවානම්, රනිල් වික්‍රමසිංහට කරන්න තියෙන්නේ 113 ක් අත්සන් කරපු ලියුමක් ජනාධිපති තුමාට බාර දෙන එකයි,” යනුවෙන් නාමල් රාජපක්ෂ මැතිසබයෙන් පිටතදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

විශ්වාස භංග තීන්දුව පිලි නොගන්නේ නම් ඊට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙස එජාප නායකයා අභියෝග කරයි.

“කවුරු හරි කියනවානම් අද තීන්දුවක් ගත්තේ නැහැ කියලා ඒක වරප්‍රසාද වලට විරුද්ධ එකක්,” යැයි විශ්වාස භංගයට සහාය දුන් මන්ත්‍රීවරුන් හමුවේ රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

Related posts

Comments are closed.

Top