මන්ත්‍රී ගුටිකෙලි ඇවිලී මැතිසබේ කල් දමයි: ශ්‍රී ලංකාවට ආණ්ඩුවක් නෑ | VIDEO

ජනාධිපතිවරයා විසින් පිළිනොගන්නා ලද විශ්වාස භංගයකින් අගමැති පදවියෙන් පහ කරනු ලැබූ මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශයක් හේතු කොටගෙන ඇවිලුනු ගැටුම්කාරී තත්වයකින් අනතුරුව නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අත් හිටුවීමත් සමගම අගමැතිවරයකු හෝ අමාත්‍ය මණ්ඩලයක් නොමැති දෙවැනි දවසත් ශ්‍රී ලංකාවට උදාවී තිබේ.

කතානායක කරු ජයසුරිය සභාව ආරම්භයේදීම දැනුම් දී සිටියේ පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් පිලි නොගන්නා බවයි.

මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශය පිළිනොගන්නා බවට ඡන්දය විමසීමට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කළ යෝජනාවක් ඡන්දය සඳහා සභාගත කිරීමට කතානායකවරයා දැරූ උත්සාහයට වලක්වන්නට  කතානායක අසුන වෙත පැමිනි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් එරෙහිව ඉදිරිපත් වූ  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරු විය.

කතානායක ආසනය වෙත මුලින්ම ගිය හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල තර්ජනාත්මක ආකාරයෙන් කතා කරනු දැකගත හැකිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආනන්ද අලුත්ගම සමග මයික්‍රෆෝනයක් ගැලවීමට උත්සාහ කළ දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා තුවාල ලැබීය.

ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත්, කතානායක කරු ජයසුරිය වෙත කුණු කුඩයකින් දමා ගසනු වීඩියෝ ගතවී ඇත.

එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම බටර් පිහියක් අතැතිව සිටිනු ද ඡායාරූප වල දැක්වේ.

රාජපක්ෂ හිතවාදී මන්ත්‍රී ප්‍රසන්න රණවීර කතානායක ආසනයට වතුර වක්කරනු ද වීඩියෝ ගතවී තිබේ.

මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවෙමින් සිටී.

කතානායක වරයා විසින් විශ්වාස භංගය පිළිබඳව කළ දැනුම් දීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පාමින් පක්ෂ නායකයෝ බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපති කැඳවා තිබු හමුව වර්ජනය කළහ.

 

Related posts

Comments are closed.

Top