මහින්දට එරෙහි අලුත් විශ්වාස භංගයකට ජනපති එකඟ වෙයි | VIDEO

මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කරන අලුත් විශ්වාස භංග යෝජනාවකට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසා ලැබෙන ප්‍රතිපලය පිළිගැනීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

කතානායක වරයා විසින් දන්වා යවන ලද  බහුතරයක තීන්දුව කලින් ප්‍රතික්ෂේප කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ මතයට එකඟ වීම දක්වා පසුබා ඇත්තේ විශ්වාස භංගයට 13 බදාදා සහාය දුන් පක්ෂ කිහිපයක නියෝජිතයන් සහ කතානායකවරයා සමග දෙපැයක් තිස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

නව සංශෝධිත යෝජනාව 16 සිකුරාදා රැස්වන පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කොට මන්තී‍්‍රවරුන්ගේ නම් කැඳවා ඡන්දය  විමසීමට අනුමැතිය පළවූ බව ගගන හා කියා සිටි දෙමළ ජාතික සන්ධාන (TNA) නායකයා ඒ හා සමගම ආණ්ඩුව සම්බන්ධ අවිනිශ්චිත තත්වය සමහන් වනු ඇති බවට විශ්වාසය පල කළේය.

TNA නායක ආර් සම්බන්ධන් හෙළිකළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයද තහවුරු කර තිබේ.

“ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර, ඡන්ද විමසීම මන්තී‍්‍රවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ය,” යි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

“ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේ ය.”

ඉවත් කරන මෙන් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ඔක්තෝබර් 26 දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන මගින් පාර්ලිමේන්තුව කල් දැමීම, අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සහ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධ නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දැක්වෙන වගන්තියයි.

  1. අතිගරු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ 2018 ඔක්තෝබර් 26 වන දින හා අංක 20194/43, 20194/43 ඒ, සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්, නීතිය ඉදිරියේ ශූන්‍ය සහ බල රහිත බවත් නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගු භාවයක් නොමැති බවත්,
  2. ඉහත සඳහන් හේතු නිසා 2018 ඔක්තෝබර 26 වෙනිදා හෝ ඉන්පසුව හෝ පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා ඒ ලෙස පත් කරන ලද්දා වූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත්,

මුල් විශ්වාස භංග යෝජනාවේ සඳහන් වේ.

එම ගැසට් නිවේදන වල ව්‍යවස්ථානුකුල භාවය විමසීමට පාර්ලිමේන්තුව ගන්නා උත්සාහය “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරුණු තනි සහ අනන්‍ය බලය අතික්‍රමණය කිරීමක්” ලෙස ජනාධිපතිවරයා විසින් කතානායක වරයාට යවන ලද ලිපියකින් හෙලා දැක තිබුනි.

ජවිපෙ

මහින්ද රාජපක්ෂගේ අගමැති පත්වීමට එරෙහි මුල්ම විශ්වාස භංගය යෝජනා කළ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති වරයා සමග සාකච්ඡාවට සහභාගි වී නැත.

සංශෝධිත විශ්වාස භංගයක් පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් සිකුරාදා පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවකදී තීරණයක් ගැනීමට නියමිත බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා ගගන හා කියා සිටියේය.

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවති ආකාරයේ කලහකාරී තත්වයක් නැවත ඇති නොවීමට වග බලාගත යුතු යැයි ජනාධිපතිවරයා කියා සිටි බව සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ  (TPA) නායකයා ප්‍රකාශ කළේය.

“මේකේ මුලාරම්භය ඔබතුමා නිසා ඒකෙ අපකීර්තිය බාරගන්න වෙන්නෙත් ඔබතුමාට තමයි,” යනුවෙන් එහිදී ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක් කෙරුනු බවත් මනෝ ගනේෂන් මන්ත්‍රී වරයා මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාස භංග යෝජනාව ජයගතහොත් ජනාධිපතිවරයා යෝජනා කරන්නට බලාපොරොත්තු වන නම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුනේද යන ප්‍රශ්නයට පිළිතුරු දීම TPA නායකයා ප්‍රතික්ෂේප කළේය.

රනිල් වික්‍රමසිංහ සමග එක ආණ්ඩුවක කටයුතු කිරීමට අපහසු බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා පවසා තිබුනේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට නම් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස සහ කරු ජයසුරිය එකඟ කරවා ගැනීමට රහස් සාකච්ඡා පැවැත්වූ බවයි.

හමුව පැවැත්වුනේ පෙරවරුවේ හමුවන ලෙස ජනාධිපතිවරයා කළ කැඳවීමක් ප්‍රතික්ෂේප කළ එජාප නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ ජනපති ක්‍රියා කලාපයට විරෝධය පා කොළඹ නගරයේ සුවිශාල උද්ඝෝෂණයක් පැවැත්වීමත් සමගය.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජනමාධ්‍ය ආයතන වෙත සපයා තිබූ ජනපති සහ පක්ෂ නියෝජිත හමුව දැක්වෙන වීඩියෝ දර්ශන වල හඬ පටය ඉවත් කර තිබුනි.

Related posts

Comments are closed.

Top