සති තුනට අගමැති දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවෙන් පරාදයි |  VIDEO

මතබේදාත්මක අයුරින් පත් කරන ලදුව කෙටිම කාලයක් ශ්‍රී ලංකාවේ අගමැති පදවිය දැරූ මහින්ද රාජපක්ෂ දෙදිනක් තුලදී දෙවැනි වතාවටත් ධුරයෙන් පහකර  තිබේ.

සති තුනකට පමණක් අගමැතිකම දැරූ ඔහු පරදවන ලද්දේ ඔහුගේ අනුගාමික මන්ත්‍රීවරුන්ගේ ප්‍රචණ්ඩතා මධ්‍යයේ සභාවේ බහුතරයක ඡන්දයෙන් සම්මත කරගන්නා ලද විශ්වාස භංගයකිනි.

පාර්ලිමේන්තුවේ තීන්දුව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් මන්ත්‍රීවරුන් විසින් සභාගත කරන ලද  යෝජනාව අනුව මහින්ද රාජපක්ෂ ද, ඔහු යටතේ පත් කරන ලද අමාත්‍ය මණ්ඩලය ද තව දුරටත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ලෙස වලංගු නොවේ.

“එම විශ්වාස භංගයට සහාය පළකරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122 දෙනකු විසින් අත්සන් තබන ලද ලේඛනය ද  ඒ සමගම ගරු ජනාධිපතිතුමන් වෙත යැවීමට පියවර ගනු ලැබිණි,” යි කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

එම ලිපිය යැවීමට පෙර නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයා “සෑම කල්හිම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ මූලධර්ම රකින ලෙස” මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබුනි.

“ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දන්වා සිටී,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට්විටර් නිවේදනයකින් දැනුම් දී සිටියේය.

“රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයට පත් නොකරන බව කී ජනාධිපතිවරයා නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකළ නිසා විශ්වාස භංග යෝජනාවට  අද ලැබුණු ප්‍රතිපලය පිලිගන්නේ නැති බව ප්‍රකාශ කළා,” යි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

“අපේ බහුතරය ඉදිරි දින කිහිපය තුලදී පෙන්වන ලෙසත් එතුමා අපෙන් ඉල්ලා සිටියා.”

පාර්ලිමේන්තුව නිල වශයෙන් රැස් කිරීමට පෙර සිකුරාදා උදෑසන ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ බලහත්කාරයෙන් වාඩිලාගෙන සිටියහ.

“ඔවුන් පාර්ලිමේන්තුව අල්ලලා. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රී කතානායක පුටුවේ ඉඳගෙන. මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ. මොන තරම් අවමානයක්ද,” යි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඡායාරූපයක් සමග ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුනි.

පස්වරු 2.30 ට පමණ කතානායක කරු ජයසුරිය සභා ගර්භයට ඇතුල් වී ඇත්තේ පොලිස් වළල්ලක දැඩි  ආරක්ෂාව මධ්‍යයේය.

පාර්ලිමේන්තුව නිල වශයෙන් රැස්වන බව සංකේතවත් කරන සෙංකෝලය තදකොට අතින් ගත් වේත්‍රධාරියා පසුපසින් කතානායක සභා ගර්භයට ඇතුල් වී තිබේ.

කතානායකවරයාටත්, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණි පොලිස් නිලධාරීන්ටත්, රාජපක්ෂ විරෝධී මන්ත්‍රීවරුන්ටත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වරු පුටු, බෝතල්, බර පොත් සහ මිරිස් දියකළ වතුරින් පහර දුන්හ.

ජොන්ස්ටන් පෙරේරා මන්ත්‍රීවරයා පුටුවකින් පහර දෙනු දකින්නට ලැබුනි.

“මට ගැහුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මගෙ තොල පැලුනා, ගාමිණි ජයවික්‍රම මන්ත්‍රීවරයාට මිරිස් කුඩු දිය කරපු වතුර වලින් ගැහුවා.” යි විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.

කතානායක කරු ජයසූරියට සභාව මෙහෙයවන්නට සිදුවී ඇත්තේ තාවකාලික ආසනයක හිඳ ගනිමිනි. දමා ගසනු ලබන දෑ වලින් බේරා ගැනීම සඳහා පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් ඔහුගේ හිස කුෂන් වලින් මුවා කර තිබේ.

නමින් ඡන්දය විමසීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් බාධා කළ හෙයින් කතානායකවරයා විසින් අවසානයේ දී හඬ විමසා බහුතරයක් යෝජනාව අනුමත කළ බව ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුව නොවැම්බර් 19 දක්වා කල් තැබුවේය.

පරාජිත මහින්ද රාජපක්ෂ සභාවෙන් පිටවෙද්දී මහජන නැරඹුම් ගැලරිය  දෙසින් හූ හඬ නැගුනු බව වාර්තාකරුවෝ පවසති.

විශ්වාස භංගය ජයගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මහත් ජයග්‍රහණයක් ලෙස අගය කළ එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාගේ ක්‍රියා කලාපය මහත් ප්‍රශංසාවට ලක් කර තිබුනි.

“77 වැනි වියේ පසුවුවත් ප‍්‍රචණ්ඩත්වය මධ්‍යයේම පොලිස් ආරක්ෂාවේ සහායෙන් සභා ගැබට පැමිණි අප කතානායකවරයා නීතිවිරෝධී රාජපක්ෂ රජයට එරෙහිව තිබූ විශ්වාස භංගය ඡන්ද විමසීමකට යොමු කළා.එය ඒකාධිපතීත්වය පරාජය කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ හික්මීම ඉහළට එසවුනු ඓතිහාසික සිදුවීමක්,” යනුවෙන් එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුනි.

පාර්ලිමේන්තු ප්‍රචණ්ඩතාව එජාප නායකයා විසින් දැඩි ලෙස හෙලා දකින ලදී.

“ගාමිණි ජයවික්‍රම, මලික් සමරවික්‍රම, විජිත හේරත් මන්ත්‍රීවරුන්ට වුනු හානියට වඩා අපේ රටේ ජනතාවගේ ඡන්දයේ පරමාධිපත්‍යය ට සිදුවූ හානිය බරපතලයි,” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

නොවැම්බර් 14 දා ද ඔහුට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් සම්මත වූ බව කතානායක වරයා කළ දැනුම් දීම මහත් කෝපයෙන් යුතුව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුනි.

Related posts

Comments are closed.

Top