කතානායක නමින් ලියූ හොර ලියුමක් ගැන රහස් පොලිස්  පරීක්ෂණ  

අග විනිසුරු අමතමින්  කතානායක වරයා විසින් යවන ලද බව හැඟී යන ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නොවැම්බර් 20 දිනැතිව අග විනිසුරු නලින් ජයලත් පෙරේරා වෙත යොමු කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පතුරුවා හරින ලද එම ලිපිය ව්‍යාජයක් බව කතානායකවරයා පවසයි.

“එම ව්‍යාජ ලිපියේ නිදානය සම්බන්ධයෙන් දැනටම අප විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඊට විරුද්ධව පියවර ගෙන තිබේ,” යි කතානායක කාර්යාලය ගගන වෙත දන්වා ඇත.

විශ්වාස භංග යෝජනා සම්මත වී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජනාධිපති මනාප අමාත්‍ය මණ්ඩලය බලරහිත වීමෙන් පසු මතුවී ඇති අරාජික භාවය හමුවේ ගත යුතු පියවර කවරේදැයි අගවිනිසුරු විමසන බව ඇඟවෙන එම ව්‍යාජ ලිපියේ අගට කතානායක  කරු ජයසූරිය නමින් අත්සනක් යොදා තිබේ.

“එම ලිපිය මුළුමනින්ම සාවද්‍ය වන අතර, ගරු කථානායකතුමන් විසින් එවන් ලිපියක් යොමු කර නොමැති බව අවධාරණය කරමු,” යි කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

Related posts

Comments are closed.

Top