පොලිස් බාධා මැද උතුරු නැගෙනහිර මහවිරු සතියට මුල පුරයි  | VIDEO

උතුරු නැගෙනහිර පුරා දෙමළ ජනතාව මහවිරු සමරු සතිය පැවැත්වීමට සැරසෙද්දී යුද හමුදාව විසින් විනාශ කරන ලද  විශාලතම මහවිරු සුසාන භූමිය සමීපයේ අනුස්මරණෝත්සවයක් පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලා පොලිසිය උසාවි ගොස් තිබේ.

කෝපායි මහවිරු සුසාන භූමිය යටකොට පිහිටුවා ඇති 512 බලසේනා මුලස්ථානය ඉදිරිපිට නොවැම්බර් 27 දා  පැවැත්වීමට නියමිත සමරුව තහනම් කරන ලෙස ඉල්ලා පොලිසිය නඩුවක් ගොනු කර ඇත්තේ යාපනය මහේස්ත්‍රාත් අධිකරනයේයි.

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති එල්ටීටීඊයේ සාමාජිකයන් සැමරීමට ඉඩ දිය නොහැකි බව පොලිසිය පවසා සිටී.

හමුදා කඳවුරක් ඉදිරිපිට සමරුවක් පැවැත්වීම “ගැටුම්කාරී තත්වයකට” තුඩු දිය හැකි බවට කෝපායි පොලිසිය තර්ක කරයි.

කෙසේ වෙතත්, යාපනය විශ්ව විද්‍යාල භුමිය තුල සමරු පැවැත්වීමට විරෝධයක් නැති බව ද පොලිසිය පවසා ඇති බව ගගන යාපනය වාර්තාකරු පවසයි.

පොලිස් විරෝධය සම්බන්ධ විභාගය නොවැම්බර් 23 දා පැවැත්වීමට යාපනය මහේස්ත්‍රාත් සින්නදුරෙයි සදීස්කරන් තීරණය කර තිබේ.

ආණ්ඩුවට විරුද්ධව කැරළි ගැසූ දකුණේ මළවුන් අනුස්මරණයට අවසර දෙන රජය යුද වැදී මියගිය දස දහස් සංඛ්‍යාත පිරිසක් සැමරීමට උතුරු නැගෙනහිර ජනතාවට ඇති අයිතියට අවහිර කරන්නේ නම් එය නීති දෙකක් ක්‍රියාත්මක කිරීමක් ලෙස දෙමළ දේශපාලකයකු විසින් හඳුන්වන ලදී.

“දෙකට බෙදිලා කියලා ආණ්ඩුවම පිළිගන්නවාද,” යි ගගන ට ප්‍රකාශයක් කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් විමසයි.

මේ සමග ඇත්තේ ගගන මුලතිව් වාර්තාකරු විසින් එවන ලද වන්නිවිලාන්කුලම් හි මහවිරු සුසාන භුමිය ශ්‍රමදානයෙන් කටු කොහොල් හැර සූදානම් කරන කණ්ඩායමක දර්ශනයි.

Related posts

Comments are closed.

Top