හිදැස: ජනපතිගේ ක්‍රියා කලාපය, අසමත් රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂට එරෙහි නඩු සහ TNA භූමිකාව  

කාටුනය: වීරකේසරී “කරු ජයසුරිය”

2018 නොවැම්බර් 9 වැනි දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමගින් තව තවත් ගැඹුරු වූ මේ වනවිට දේශපාලන පිටියේ පවත්නා අර්බුදය, දමිළ පුවත්පත් මගින් දිගින් දිගටම ආවරණය කෙරිණි. මෙම වත්මන් අර්බුදයේ දෝෂාරෝපණය කවරෙකු වෙත යා යුතුද යන්න, පාර්ලිමේන්තුව විසිරුවීමේ ව්‍යවස්ථානුකූල භාවය කෙසේද යන්න, 2019 ජනවාරි මස පවත්වනු ලැබේයැයි ප්‍රකාශිත මැතිවරණ පිළිබඳ අනුමාන කල්පනා සහ වත්මන් තත්වය යටතේ දමිළ දේශපාලන නායකයන් විසින් කළ යුතු භූමිකාව යන කරුණු වෙත දමිළ පුවත්පත් මගින් අවධානය යොමු කොට තිබිණි.

දෝෂාරෝපණය කාහටද?

පසුගිය වසර තුන තුළ තම පොරොන්දු ඉටු කිරීමට අසමර්ථ වීම -විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අසමර්ථ වීම- සලකා බලමින් රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපතිවරයා මෙම වත්මන් අර්බුදය වෙනුවෙන් දෝෂාරෝපණය ලැබිය යුතු බව දමිළ පුවත්පත් මගින් කල්පනා කොට තිබිනි. මහින්ද රාජපක්ෂ සහ ජනාධිපතිවරයා අතර භේදය පවත්වා ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට එරෙහි විමර්ශන ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් තිනකුරල් පුවත්පත මගින් රනිල් වික්‍රමසිංහට විවේචන එල්ල කොට තිබුණේ වර්තමාන සිදුවීම් පෙළගැසීම එහි ප්‍රතිඵලයක් ලෙසින් සිදුවූ බව දක්වමිනි. තවදුරටත් ගත් විට තමන්ගේ නායකත්ව තනතුරෙන් ඉවත් වීමට දැක්වූ පැකිළීම නිසා වත්මන් අර්බුදකාරී තත්වය ඇතිවූ බවට තිනකුරල් මගින් රනිල් වික්‍රමසිංහ වෙත විවේචන එල්ල කොට තිබූ අතර, වීරකේසරී මගින් ජනාධිපතිවරයාට විවේචනයන් එල්ල කොට තිබුණේ තමන්ද දමිළ ජනතාවගේ දුක්ගැනවිලි වෙනුවෙන් කටයුතු කිරීමට අසමර්ථව සිටියදී තමන් සියලු දෝෂාරෝපණයන්ගෙන් නිදොස් කොට දැක්වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙනි.

රජයට අයත් තිනකරන් පුවත්පත මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් දක්වා තිබුණේ, දමිළ ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු නොකිරීම සහ ජනපතිවරයා සමගින් එක්ව වැඩ කිරීමට අසමර්ථ වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ වෙත සම්පූර්ණ දෝෂාරෝපණය එල්ල විය යුතු බවයි.

 විසිරුවා හැරීම සම්බන්ධයෙන් වූ බෙදීම්

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ගත් විට රජයේ සහ ප්‍රධාන ධාරාවේ අනෙකුත් පුවත්පත් පැහැදිලිව දැකිය හැකි ලෙසින් බෙදී වෙන්වී තිබිණි.

වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් වල කතුවැකි එක හඬින් මෙම පාර්ලිමේන්තුව විසිරුවීමේ ක්‍රියාව ජනපතිවරයා විසින් ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථානුකූල නොවන පියවරක් ලෙසින් දක්වමින් සහ ඒ මගින් වත්මන් අර්බුදය තවත් උග්‍ර අතට හැරුණු බව දක්වමින් දොස් පවරා තිබිණි. නමුත් තිනකරන් කතුවැකිය මගින් දරා තිබූ අදහස වූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මගින් වර්තමාන අර්බුදය තවත් තීව්‍ර වීම වැළැක්වුණු බවයි. විවිධ පාර්ශව මෙම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ අභියෝග කිරීම පිළිබඳ පුවත් වීරකේසරී මෙන්ම තිනකුරල්ද මගින් මුල් පිටු තුළ පළ කොට සිටියත්,  එයට ප්‍රතිවිරුද්ධ ලෙසින් රජයේ පුවත්පතක් වන තිනකරන් මගින් අවධානය යොමු කොට තිබුණේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපති විසින් නිකුත් කරන්නට යෙදුණු ගැසට් නිවේදනය වෙතයි.

තවදුරටත් වීරකේසරී සහ තිනකුරල් මගින් පාර්ලිමීන්තුව විසුරුවා හැරීම දැක තිබුණේ මහින්ද රාජපක්ෂ හට බහුතරය නොමැති වීම නිසා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම මඟහැරීමේ ප්‍රයත්නයක් ලෙසින් වූ අතර, තිනකරන් මගින් ප්‍රකාශ කර තිබුණු ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවන්නට යෙදුණේ ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා මැතිවරණයන් පැවැත්වීමටත්, එමගින් ප්‍රජාතාන්ත්‍රික හරයන් සවිබල ගැන්වීමත් සඳහා හැකියාව ලබාදීමටත් වේ.

වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් දෙකම මගින් පාර්ලිමේන්තුව විසිරුවීම සම්බන්ධයෙන් එල්ල වන ජාත්‍යන්තර විවේචනය ඉස්මතු කොට දක්වා තිබිණි. ඒ අතර තිනකරන් මගින් ජනාධිපතිවරයාට ප්‍රශංසා කොට සිටියේ ජාත්‍යන්තරය නොතකා, අභ්‍යන්තර කටයුතු සඳහා කොන්දේසි නියම කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙනි. තවදුරටත් තිනකරන් පුවත්පත කථානායකවරයා සම්බන්ධයෙන් දැඩිව විවේචනාත්මක වී තිබූ අතර, කථානායක විසින් එක්සත් ජාතික පක්ෂයට වාසි ලබාදීමට නැඹුරුව සිටින බව සහ විධායකය අතික්‍රමණය කරන බවත් ප්‍රකාශ කරමින්, පාර්ලිමේන්තුව නැවත් රැස්වන තුරු කථානායකවරයා නිහඬව සිටිය යුතු යැයිද පවසන්නට යෙදිනි.

කාටුනය: අනිද්දා

මැතිවරණ නිදහස් හා සාධාරණ වේද?

එසේම 2018 නොවැම්බර් 9 දින ජනපතිවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් 2019 ජනවාරි මස පැවැත්විය යුතුයැයි ප්‍රකාශිත මැතිවරණයන් සම්බන්ධයෙන්ද දමිළ පුවත්පත් ශංකාකූල වී තිබිණි. වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් මගින් පුරෝකථනය කොට තිබුණේ මැතිවරණ සමගින් නොසන්සුන් සහගත තත්වයන් ඇතිවනු ඇති බවත්, පත්වූවායැයි ප්‍රකාශිත නව කැබිනට් මණ්ඩලය මගින් රාජ්‍ය සම්පත් අවභාවිතා කරනු ඇති බවත් මෙන්ම රාජපක්ෂ සහ වික්‍රමසිංහ දෙදෙනාගේම කඳවුරු මගින් සුළුතරය දෙස නොබලමින් සිංහල-බෞද්ධ බහුතර ඡන්ද පදනමට ආමන්ත්‍රණය කරනු ඇති බවත් වේ.

එක හා සමානව අනිෂ්ට විකල්ප දෙකක් අතර

මෙම තත්වය යටතේ දෙමළ දේශපාලනික නායකත්වය, විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය (TNA) රඟදැක්විය යුතු භූමිකාව සම්බන්ධයෙන් දෘෂ්ටීන් දෙකක් ඉදිරිපත්ව තිබිණි:

  • දෙමළ ජාතික සන්ධානය මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වා ගත යුතුය: මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාස භංග යෝජනාවක් සඳහා සහාය පළ කරන බවට දෙමළ ජාතික සන්ධානය මගින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් විවේචනයන් එල්ල කොට තිබිණි. ඒ, එවැනි ස්ථාවරයක් මගින් දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ හට ‘සහාය පළ කරන’ බවට පෙනී යා හැකි නිසාත්, ඒ නයින් එය ‘සිංහල’ නැතිනම් ‘දකුණේ’ නායකයන් දෙදෙනෙකු අතර බල අරගලයේදී දෙමළ ජාතික සන්ධානය පාර්ශවයක් ගැනීම හා සම වන නිසාත් වුනි. තවදුරටත් දෙමළ ජාතික සන්ධාන නායකත්වයට දමිළ පුවත්පත් ඔස්සේ දැඩි ප්‍රහාරයන් එල්ල වූයේ, දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් සහ මාධ්‍ය ප්‍රකාශක ආර්.සුමන්දිරන් මෙම ගැටළුව සම්බන්ධයෙන් බොහෝ සෘජුව හඬ නගා සිටියත්, ඔවුන් දමිළ දේශපාලන සිරකරුවන් සම්බන්ධ ගැටළුව හෝ අතුරුදන් වූවන් සම්බන්ධ ගැටළුව වැනි දමිළ ජනතාවගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් ඉතාමත් ඉවසන සුළු හා මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනා බව සඳහන් කරමිනි. පසුගිය සති දෙක පුරාවටම දමිළ පුවත්පත් මගින් දිගින් දිගටම දරා සිටි ස්ථාවරය වූයේ රාජපක්ෂ හෝ වික්‍රමසිංහ දෙදෙනාගෙන් එක් අයෙකුගේ පාර්ශවය හෝ දමිළ ජනතාවගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් අවංක ආධ්‍යාශයෙන් කටයුතු නොකරන බවත්, එනිසා දෙමළ ජාතික සන්ධානය එම එක් පාර්ශවයක් හෝ නොගත යුතු බවත්ය.
  • දෙමළ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂට සහාය ලබාදීම සලකා බැලිය යුතුය: මෙම තර්කය පැන නැගෙන්නේ රනිල් වික්‍රමසිංහ නැවත බලයට පැමිණීම පිළිබඳව ඇති අවිනිශ්චිත භාවයත්, එනිසා ‘පරාජිත’ පාර්ශවයට ප්‍රසිද්ධියේ සහාය පළ කිරීම මගින් ‘ජයග්‍රාහක’ පාර්ශවයේ – එනම් බොහෝ දුරට රාජපක්ෂ කඳවුරේ උදහසට සහ සුළු කොට තැකීමට භාජනය වීමට සිදුවිය හැකිය යන අදහස සමගිනි. එසේම තවදුරටත් මෙහිදී සඳහන් කෙරුණේ රාජපක්ෂ විසින් දමිළ ජනතාවගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් ආමන්ත්‍රණය නොකර සිටියත්, එවිට වික්‍රමසිංහගේ රජය සමයේ මෙන් නොව ජාත්‍යන්තර ප්‍රජාව ඒ සඳහා දැඩි පීඩනයක් යොදනු ඇති බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top