පොලිස් පරීක්ෂණ වලට බාධා කරන්නේ ජනපති බවට සාගලගෙන් ප්‍රතිප්‍රහාරයක් | VIDEO

වංචා දුෂණ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා දැඩිසේ ප්‍රතික්ෂේප කරන හිටපු  නීතිය හා සාමය භාර අමාත්‍යවරයා යුක්තිය ඉටුවීමට බාධා කළ බවට පෙරලා ජනාධිපතිටම දොස් පවරයි.

නීතිය ක්‍රියාත්මක කිරීම භාරව සිටි එක්සත් ජාතික පක්ෂය යුක්තිය ඉටු කිරීම වලක්වා ලූ බව සති අන්තයේදී විදේශ මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් සෘජුවම චෝදනා කර සිටියේ රනිල් වික්‍රමසිංහ හා සාගල රත්නායක දෙදෙනාටයි.

ජනාධිපතිවරයා නගන අභුත චෝදනා මෙතෙක් කල් ඉවසා සිටියේ ඔහු තමන් ද පාර්ශව කරුවකු වන රජයේ නායකයා වන හෙයිනැයි පවසන සාගල රත්නායක ජනාධිපතිගේ ප්‍රකාශ නිසා තමන්ටත් එජාපයටත් මහත් හානියක් වූ බව පවසයි.

මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් බරපතල ගනයේ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පරීක්ෂකයකු මාරු කර යැවීම ඊට උදාහරණයක් ලෙස මාධ්‍ය වෙත නිකුත් කළ විශේෂ ප්‍රකාශයකින් සාගල රත්නායක පෙන්වා දෙයි.

ඔහු විසින් සඳහන් කරන පරිදි නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් කොළඹ සහ ඒ අවටදී 11 දෙනකු පැහැරගෙන ගොස් වධදී මරා දැමීම, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පතුරුදහන් කිරීම සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ දීම ආදී බරපතල ගනයේ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් පරීක්ෂක  නිශාන්ත සිල්වා මාරුකර යවා ඇත්තේ ජනාධිපති වරයාගේ නියෝග පරිදිය.

පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට ලියන ලද ලිපියක දැක්වෙන පරිදි කාර්යශුර නිලධාරියකු වන නිශාන්ත ද සිල්වා මීගමුවට මාරු කර යැවීමට නියෝග කිරීමෙන් නොනැවතී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දුරකතන පණිවිඩයක්ද දී ඇත.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නැගුනු විරෝධයෙන් පසුව එම මාරුව අවලංගු කර තිබුනි.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කොටි සංවිධානයට සම්බන්ධ බවට අධිකරණය මගහැර සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න විසින් කරන ලද චෝදනා ස්ථාන මාරුවට හේතුවූ බව විශ්වාස කෙරේ.

එහෙත් එම චෝදනා අසත්‍ය බව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ආරක්ෂක ලේකම් වෙත යවන ලද ලිපියේ දැක්වේ.

රාජපක්ෂ පාලන සමයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු හමුදා නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ වලට ජනාධිපතිවරයා බාධා පමුණුවන බව කිහිපවර එළිදරව් වී තිබුනි.

හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක අංශ වල ඉහල නිල දැරුවන් අධිකරණය හමුවට කැඳවීම ගැන 2016 තරම් කාලයක පටන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කෝපය පල කර තිබුනි.

ඒ සමයේම නීතිය හා සාමය භාර ඇමැති වශයෙන් කටයුතු කරද්දී මහා පරිමාණ දුෂණ චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන වලට පොලිස්පතිවරයාට සාගල රත්නායක බලපෑම් කළ බව ප්‍රසිද්ධියට පත් වී තිබුනි.

“කිසිම අවස්ථාවකදී” අපරාධකරුවන්, දුෂිතයන් ආරක්ෂා කිරීමට පියවර ගෙන නැතැයි පවසන සාගල රත්නායක පරීක්ෂනවලට බාධා කළ “ඉහළ අය” පිළිබඳව සවිස්තර තොරතුරු තමන් අත ඇතැයි ප්‍රකාශ කරයි.

Related posts

Comments are closed.

Top