මහින්ද රාජපක්ෂ අගමැති ලෙස හඳුන්වන මාධ්‍ය ගැන පරීක්ෂණයක් ඉල්ලයි | VIDEO

විශ්වාස භංග යෝජනා දෙකකින් පරාජයට පත් කරන ලද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ නිලතල වලින් හඳුන්වන ජනමාධ්‍ය වලට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.

මසකට ඉහතදී ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැති සහ ඇමැතිවරුන්ගෙන් සමන්විත ආණ්ඩුව වලංගු නොවන බව කතානායක කරු ජයසුරිය විසින් නොවැම්බර් 16 දා ප්‍රකාශයට පත් කරන ලදී.

විශ්වාස භංගය මෙන්ම කතානායක නිවේදනයද පාර්ලිමේන්තුවේ නිල වාර්තාව වන හැන්සාඩ් ලේඛනයට  ඇතුලත්ව තිබියදී ජනමාධ්‍ය ආයතන එය නොතකා සිටීම වරප්‍රසාද කඩවීමක් ලෙස මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මැතිසබයේදී විරෝධය පල කළහ.

“විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා ඒකෙ නීත්‍යානුකුල බව රටම පිළිගත යුතු තත්වයක් තිබෙනවා,” යි රවුෆ් හකීම් මන්ත්‍රීවරයා 27 අඟහරුවාදා මැතිසබයේදී කතානායකවරයාට කියා සිටියේය.

“අගමැති සහ ඇමැතිවරුන් කියාගෙන යන්නාවූ මේ කල්ලිය එලෙසම අගමැති ලෙසත් ඇමැතිවරු ලෙසත් හැඳින්වීමේ ක්‍රියාදාමය මේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය කටයුතු කරන එක අපේ වරප්‍රසාද කඩවීමේ ප්‍රධාන කාරනාවක් වෙනවා. අගමැති නැත්නම් හා ඇමැතිවරුන් කියාගන්නා මේ ඊනියා ආණ්ඩුවේ අය එලෙස හඳුන්වා දීම විශාල ලෙස අපේ වරප්‍රසාද කඩවීමක්.  ඒ ගැන අපි පරීක්ෂණයක් තිබිය යුතුයි. ඔබතුමා නියෝගයක් දිය යුතුයි.”

ආණ්ඩුවක් නැති බව කතානායකවරයා ප්‍රකාශයට පත් කර තිබියදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම රැස්වී කෝටි ගණන් වටිනා ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් තීන්දු ගන්නා බව මලික් සමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

විශ්වාස භංගයෙන් පරාජිත මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුව ලෙස හැඳින්වීම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් හඳුන්වන ලද්දේ “ජනමාධ්‍ය වහල් භාවයට පත්වීමක්” ලෙසයි.

එම තත්වය මාසයකට වැඩි කලක් පවතින්නේ නැති බවට ඇය විශ්වාසය පල කළාය.

පළමු විශ්වාස භංග යෝජනාව සම්මත වූ දා සිට පාර්ලිමේන්තු රැස්වීම්වල හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ කිරීම නවත්වන්නැයි රාජපක්ෂවාදී මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පසුගිය 14, 15, 16, 19, 21 සහ 23  දිනවල පැවති පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුනොවූ බව ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් නව දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට යොමු කර ඇති ලිපියෙන් තර්ක කරයි.

Related posts

Comments are closed.

Top